Home / ජීවීතය සුන්දරද / තරුණ පරම්පරාව කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගවලට ගොදුරු වීම වැඩිවෙලා...

තරුණ පරම්පරාව කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගවලට ගොදුරු වීම වැඩිවෙලා...

2017-09-27 10:59:00       701
feature-top
නොසිතා කරන වැරදි රෝගයට හේතු වී තිබෙයි

පල්ලේවෙල වෙද පරම්පරාව, රජ සමය දක්‌වා අතීතයට දිවෙන වෙද පරම්පරාවකි. පල්ලේවෙල ආර්. ඩී. රන්හාමි වෙද මහතා පල්ලේවෙල වෙද පරම්පරාවේ නමක්‌ දිනාගෙන සිටි වෙදමහතෙකි. ගෙඩි, වණ, පිළිකා, කැඩුම්, බිඳුම්, සර්ප විෂ වැනි දෙයට දක්‍ෂතා දක්‌වන පල්ලේවෙල වෙද පරම්පරාවේ හතර වැනි පරම්පරාව නියෝජනය කරන්නේ ඩී. ඩී. එස්‌. ප්‍රේමසිරි මහතාය. ප්‍රේමසිරි මහතා ආර්. ඩී. රන්හාමි මහතාගේ මුණුබුරෙකු වන අතර පල්ලේවෙල වෙද පරම්පරාවේ අදවන විට දක්‍ෂතා දක්‌වන දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ ලෙසට නමක්‌ දිනාගෙන සිටී.

පරම්පරාවෙන් ලැබුණු දැනුමට අමතරව ආයුර්වේද ශාස්‌ත්‍රීය විභාගය සමත් කර සිටින ඩී. ඩී. එස්‌. ප්‍රේමසිරි මහතා සර්වාංග වෙදකමට දක්‍ෂතා දක්‌වන්නේය. සර්වාංග රෝග අතුරින් ආතරයිටීස්‌, වාත රෝග වෙනුවෙන් පල්ලේවෙල වෙද පරම්පරාවටම ආවේණික වු ඖෂධ වර්ග පිළිබඳ පුරාණ පොත්පත්වලට සටහන්ව ඇති ඖෂධ වර්ග භාවිත කිරීම තුළ ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව ඔහු අත්දැකීමෙන් පෙන්වා දෙන්නේය.

කොළඹ ගුණසිංහපුර බෝධිරුක්‌ඛාරාමයේ විහාරයට අමතරව ප්‍රදේශකිහිපයක ඔහු වෙදකම් කිරීමේ නිරතව සිටින්නේය.

කාර්ය බහුල ජීවන රටාව හමුවේ කෂාය වර්ග පානයට මිනිසුන් දක්‌වන අකැමැත්ත හමුවේ සකස්‌ කළ ඖෂධ මගින් ප්‍රතිකාර සඳහා යොමු වී සිටින ප්‍රේමසිරි මහතා රෝග සුවය වෙනුවෙන් තෙල් වර්ග යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳ කරුණු පහදා දෙන්නේය.

ආයුර්වේදයට අනුව ශරීරය, මනස සහ ආත්මය සම්බන්ධ කර මිනිසාට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය ක්‍රමය සැකසී තිබේ.

පඨවි (ගණ) ආපෝ (ද්‍රව) තේජෝ (ශක්‌තිය) වායෝ (වායු ස්‌වභාවය) සහ අවකාශ (අල්ලන ප්‍රමාණය) අනුව විශ්වයේ සෑම දෙය සැකසී තිබේ.

සිරුර නිර්මාණයේදී වාත, පිත සහ කප යන ත්‍රිදෝෂවල වෙනස්‌ කම් මත ලෙඩ හැදෙන බවට පෙන්වා දෙනු ලැබේ. ත්‍රිදෝෂවල වෙනස්‌ කම් ඇතිවීමට ඉහත කාරණා බලපාන අතර එම කාරණා නොවෙනස්‌ව පවත්වා ගැනීම තුළ නිරෝගී ජීවිතයක්‌ ගත කිරීමේ හැකියාව ලැබේ.

මිනිස්‌ සිරුර ගෙන බැලීමේදී ත්‍රිදෝෂයන්ගෙන් මූලික කාරණාව වන වාත යනු වේදනාවයි. ස්‌නායු සම්බන්ධ ආවේගයන්, චලනයන් මේ යටතට ගැනේ.

දෙවැන්න පිත - දිරවීම හා සම්බන්ධ හෝර්මෝන වැනි දෙය, පරිවෘත්තීය ක්‍රියා දැවිල්ල වැනි දෙය මෙයට අයත් වේ. උදරයේ ආහාර දිරවීම හා සම්බන්ධ ක්‍රියාවලිය, එන්සයිම ක්‍රියාවලිය මෙයට අයත්ය.

කප තුන්වැන්නයි - ශරීයේ දියර ස්‌වභාවය, සෙම්ප්‍රතිශ්‍යාව කබ, කඳුළු කෙළ වැනි දේ මේ යටතට ගැනේ.

රෝගී නොවි නිරෝගීව ඉන්නට ත්‍රිදෝෂ නිවැරදිව තබා ගන්නට නම්,

ආහාර, විහරණ වැනි වත් පිළිවෙත් දිනපතා චර්යාවන් වැනි දේ නියමාකාරයෙන් පවත්වා ගැනීමට වෙහෙස ගත යුතුය.

නවීන සමාජයේ තරගකාරී ජීවිතය, ක්‍ෂණික ආහාර, රසායනික පදාර්ථ, තෙල්, රස කාරක, සීනි, ලුණු අධික ආහාර මෙන්ම කෘත්‍රිම ආහාර පාන සඳහා යොමු වී සිටීමේදී නිරෝගී ජීවිත රෝගී වීමට වැරදි ආහාර රටාව ප්‍රධාන කාරණාවක්‌ වී තිබේ.

වැඩිපුර තෙල් ආහාර මෙන්ම රතුපාට මස්‌ වර්ග වැඩිපුර ආහාරයට ගැනීම නිරෝගී දිවි පෙවෙතකට සුදුසු නැත. මධ්‍යසාර පානය, දුම්පානය නිරෝගී ජීවිත රෝගී කරන්නේය.

අද වන විට රැකියාවද නිරෝගී ජීවිත රෝගීන් බවට පත්කර තිබෙන බවක්‌ පෙනේ. එයට හේතු වී තිබෙන්නේ වැරදි ඉරියව් පවත්වා ගැනීමයි. ඔරොත්තු නොදෙන ලෙස බර එසවීම, දහවල නිදා ගැනීම, නිදි වැරීම, වැරදි ව්‍යායාමවල යෙදීම, කොඳුඇට පෙළ හා සම්බන්ධ රෝගවලට හේතු වී ඇති බව පෙනෙන්නේ තරුණ පරම්පරාව වැඩිපුර කොඳුඇට පෙළ ආශ්‍රිත රෝග පීඩාදියෙන් පීඩා විඳීම නිසාවෙනි.

කොඳුඇට පෙළෙහි කොඳුඇට දෙකක්‌ අතර ජෙල් වැනි කොටසක්‌ තිබේ. වැරදි ඉරියව් මත, වැරදි ක්‍රියා කලාපයන් මත මෙම ජෙල් කොටස කොඳුඇට පෙළින් ඉවතට පැනීමේදී එය කොඳුඇට පෙළ හරහා යන ස්‌නායුවලට බලපානු ලැබේ. එවිට ස්‌නායු තෙරපීමට පටන් ගනී. ඉන්පසු වේදනාවක්‌ ඇතිවේ.

තරුණ අය අතර මෙම කොන්දේ වේදනාවට හේතුව වැරදි ඉරියව් සහ වැරදි ක්‍රියා පිළිවෙත් බව දන්නේ අත්දැකීමෙනි. ස්‌නායු තෙරපුම මත ඇතිවන වේදනාව මඟහරවා ගැනීමට ඖෂධ ප්‍රතිකාර තිබේ. නැවත එම තත්ත්වය ඇති නොවීමට අවශ්‍ය උපදෙස්‌ ලබාදීමේදී ඒ අනුව කටයුතු කළ යුතු වන්නේ මේ සඳහා වැරදි ඉරියව්වල බලපෑම ඒ තරමටම බලපාන නිසාවෙනි.

රෝගී වූ කොඳු ඇට පෙළ තෙල් ආලේපයෙන් තැවීමෙන් පසු ඒ සඳහා උචිත ව්‍යායාම ක්‍රම තිබේ. ව්‍යායාම මගින් කොඳු ඇට දෙකක්‌ අතර පිටතට පැමිණි ජෙල් වැනි කොටස නැවත යථා තත්ත්වයට පත්වන අතර ස්‌නායු තෙරපුම නැති වී යන්නේය.



More News »