Home / ජීවීතය සුන්දරද / ඔබ අඩි උස පාවහන් පළදිනවාද

ඔබ අඩි උස පාවහන් පළදිනවාද

2017-10-19 09:50:00       197
feature-top
අඩි උස සපත්තු ළඟ කාන්තාවන්ගේ ඇස් නවතින්නේ , ඒවා පැලඳීම නිසා තමන්ට අමුතුම ආකර්ෂණීය බවක් වගේ ම, අමුතුම ලාලිත්‍යයක් ලැබෙනවා කියලා හිතන නිසයි. ඒත්, ලස්සන වුණාට අඩි උස සපත්තු දාගෙන ඇවිදින එක නම් ලේසි නැහැ. ලස්සනට ඉන්න ටිකක් දුක් විඳින්නත් වෙනවා කියලා හිතෙන අය, හැමදාම මේවා පළඳින එක පුරුද්දක් කර ගන්නවා.ඒත් , දිනපතාම අඩි උස සපත්තු දාන්නට පුරුදු වුණොත්, කල් යාමේදී ඔබේ ශරීරයේ නොයෙක් ආබාධ ඇතිවෙන්නට හැකියාව තිබෙනවා.

දිගු කලක් අඩි උස පාවහන් පැලඳීම නිසා කොන්දේ වේදනා ඇති වීමටත්, දණහිස්, වළලුකර, කෙණ්ඩ, ප්‍රදේශයේ මාංශපේශිවල වේදනා සහ යටි පතුල් ආබාධයට ලක් වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ඒ වගේම, ශ්‍රෝණි කුහරයේ සහ උදර කුහරයේ ඇති සමහර අවයවවල පිහිටීම වෙනස් වීම තමයි මෙතන තියෙන ලොකු ම අවදානම.

පාදයේ හැඩය

පාදයේ පතුල වක්‍රාකාරයි. මේ හැඩය නිසා අපි සිටගෙන සිටින විට හෝ ඇවිදින විට ශරීරයේ බර සමානුපාතිකව පාද කරා අවතීර්ණ වෙනවා. අසමතුලිත පෘෂ්ඨයක් මත ඇවිදීමේදීත්, දුවන පනින අවස්ථාවලදීත් මේ වක්‍ර බොහෝ ප්‍රයෝජනවත්. එවැනි අවස්ථාවල දී ඇතිවන කම්පන අවශෝෂණය කර ගනිමින්, සිරුර ආරක්ෂා කරන්නේ මේ වක්‍රයි.

අඩි උස සපත්තු දානකොට විළුඹ තරමක් උසින් පිහිටන නිසා , ශරීරයේ බර ගමන් කරන්නේ පාදයේ ඉදිරිපසට හා ඇඟිලිවලටයි. මෙහිදී වැඩි පීඩනයක් ඇති වන්නේ මහපට ඇඟිල්ල මුලටයි. මෙවිට ශරීරයේ සමතුලිතාව බිඳී, සිරුර මඳක් ඉදිරිපසට ඇල වෙනවා. එවැනි අවස්ථාවකදී ඒ සපත්තු දාගෙන ඉන්න කෙනාට සිද්ද වෙන්නේ, උඩු කය ටිකක් පසුපසට ඇල කරලා, ශරීරයේ සමතුලිත බව රැක ගන්නයි. ඒ වගේම මෙතැනදී කොඳුඇටපෙළේ යට කොටසේ ඇති කටී වක්‍රය ස්වාභාවිකව පිහිටා ඇති ප්‍රමාණයට වඩා විශාල වෙනවා. එවිට, සපත්තු දාගෙන ඉන්න මොහොතෙදි ශරීරයට කැපී පෙනෙන හැඩයක් ලැබෙනවා. වළලුකර සන්ධියේ පිටුපස පිහිටා ඇති ඛණ්ඩරා කෙටිවී, කෙණ්ඩා ප්‍රදේශයේ මාංශ පේශි සංකෝචනය වීමත් මෙහිදී සිදු වෙනවා.

දිගුකාලීන බලපෑම

රුධිර සංසරණයට වැදගත් මෙහෙයක් සලසන කෙණ්ඩ ප්‍රදේශයේ මාංසපේශි බොහෝ වේලා සංකෝචනය වී තදවී තිබීම නිසා, රුධිර ගමනාගමනය නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. මේ නිසා නිතර අඩි උස පාවහන් පලඳින කාන්තාවන්ට නහර ගැට ගැසීමේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සිරුරේ බර නිසි පරිදි පාදවලට ව්‍යාප්ත නොවී, පාදයේ ඉදිරි කොටසට පීඩාකාරී ලෙස බලපෑම නිසා, පාද වේදනාව හා ස්නායු තෙරපීමෙන් හිරි ගතියක් පවා ඇති වෙනවා. දීර්ඝකාලීනව පවතින කොන්දේ වේදනාව හා දණහිස් ආබාධ මෙහි තවත් ප්‍රතිඵලයක්. අඩි උස සපත්තු දාගෙන හිටගෙන සිටින විට, මහපට ඇඟිල්ලට වැඩි පීඩනයක් ඇති වීමෙන්, ඒ ආශ්‍රිත ප්‍රදේශයේ වේදනා ඇතිවෙනවා. ඒ වගේම පාවහන් තුළ හිරවීම නිසා, මහපට ඇඟිල්ල ඇතුළට ඇදවී,පසුකාලීනව ඇඟිලි ඇවිදීමේ අපහසුතා ඇති වෙන්නත් ඉඩ තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ අඟල් 2ක් පමණ උස ඇති පාවහන් පැළඳීම සුදුසු බවයි. අඩි උස පාවහන් දවසකට පැය 4-5 කට වඩා දාගෙන ඉන්නත් හොද නෑ .සතියකට දෙතුන් වරකට වඩා ඒවා පැලඳීම කොහෙත්ම හොඳ නෑ.

(under the courtesy of rasagossip.lk web)

More News »