Home / ජීවීතය සුන්දරද / ජීවිතයට රතු එළි දල්වන අක්මාවේ තෙල් තැන්පත්වීම

ජීවිතයට රතු එළි දල්වන අක්මාවේ තෙල් තැන්පත්වීම

2018-03-13 12:54:00       543
feature-top
ඉතා සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා යැයි  පෙනෙන පුද්ගල ශරීරයක් තුළ කුමක් සිදුවෙමින් පවතිනවා දැයි කාට නම් කිව හැකිද? ඒ ආකාරයට බැලූ බැල්මට නොපෙනුණද ශරීර අභ්‍යන්තරයේ ක්‍රම ක්‍රමයෙන් සිදුවන විනාශයක්  පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අද අපි කල්පනා කළෙමු.
අක්මාවේ තෙල් ලෙස ‍පොදු  ව්‍යවහාරයේ පවතින රෝගී තත්ත්වයද ඒ ආකාරය. බඩේ ස්කෑන් පරීක්ෂණයක්  මගින් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති ආකාරය වෛද්‍යවරයෙකුට හඳුනා ගැනීම අපහසු නොවේ. ඒ ආකාරයට අක්මාවේ තෙල් තැන්පත් වන්නේ කෙසේද? එවිට සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව අපි සොයා බලමු.
අක්මාවේ තෙල් හට ගන්නේ තෙල් සහිත ආහාර ශරීරයට ඇතුළු වීම නිසයි. තෙල් යනු ‍පොල්තෙල්, ‍පොල් කිරි, පිටිකිරි ආදී වශයෙන් අපි ඉතා කැමැත්තෙන් ගන්නා ආහාරවල ඵලයකි. සිරුරේ තරබාරු බව වැඩිවන්නට වැඩිවන්නට එලෙස අක්මාව විසින්්  තෙල් බාර ගැනීමද වැඩි වැඩියෙන් සිදුවේ. ඒ ආකාරයට තෙල්වලට වැඩි කැමැත්තක් දක්වන ශරීරයේ වැදගත් අවයවයක් වන අක්මාව යනු කුමක්ද?
බඩේ දකුණු පස මදක් ඉහළට වන්නට පිහිටා ඇති අඩියක් පමණ විශාල අවයවයක් වන අක්මාව මිනිස් සිරුරේ ආහාර ගබඩාවයි. එසේ පවසන්නට සිදුවන්නේ දෙතුන් වේලක් අපට නිරාහාරව සිටින්නට සිදු වුවහොත් අපේ ශරීරය නඩත්තු කරන්නේ අක්මාව වන නිසාය. ශරීරය වෙනුවෙන් තවත් බොහෝ කාර්ය භාරයන් ඉටු කරන අක්මාව  යම් හෙයකින් බිඳ වැටුණහොත් දෑස් හැර සිටින්නට නොහැකිව සිහිමුර්ජා වන තත්ත්වයකට අපව ඇද දමනු ඇත.  වේදනා නාශක පෙති වර්ග අධික මාත්‍රාවක් එකවර ගත් විටදී මෙන්ම දීර්ඝ කාලයක්  මත්පැනට ඇබ්බැහි වී සිටීම නිසාත් වැඩිම හානිය සිදුවන්නේ අක්මාවටයි.  1970 - 75 කාල වකවානුවේ විශාල වශයෙන් අරිෂ්ඨ පානයට යොමු වූ පිරිස්ද අද වනවිට අක්මාවට හානි පමුණුවාගත් අය අතර වෙති. අනෙක් පිරිස වන්නේ තෙල් සහිත ආහාර අධිකව ගැනීම නිසා අක්මාවේ තෙල් තැන්පත් වූ පිරිසය.
ඒ කවර ආකාරයකට අක්මාවේ තෙල් එක්රැස් වුවද ඒවා ඉවත්කර දැමීමටද ශරීරය කටයුතු කරයි. ඒ ආකාරයට අක්මාවේ තැන්පත් වී ඇති තෙල් ඉවත් කිරීමේ පුංචි මෙහෙයුමේදී අක්මාවටද  සුළු සුළු හානි පැමිණවීම වැළැක්විය නොහැකිය. කාලයක් පුරා එලෙස අක්මාවේ තෙල් ඉවත් කරන්නට දරන  උත්සාහයේදී එහි කොටස්ද දිය වෙමින් රුධිරයට එකතුවීම සිදුවේ.
මෙලෙස රුධිරයේ දියවෙන එන්සයිම SGPT සහ SGOT නමින් දෙයාකාරවන අතර රුධිර පරීක්ෂණයක් මගින් ඒවායේ සාන්ද්‍රණය සාමාන්‍ය තත්ත්වයට  වඩා වැඩිදැයි හඳුනාගත හැකිය. රුධිර පරීක්ෂණයේදී එය අසාමාන්‍ය වැඩිවීමක් බව තහවුරු වන්නේ නම් අක්මාවට යම් හානි පැමිණවීමක් ආරම්භ වී ඇති බව වෛද්‍යවරු වහා අවබෝධකර ගනිති.
ඒ ආකාරයට දිගින් දිගටම ටිකෙන් ටික අක්මාව විනාශ වන විටදී අක්මාව පුරාම තුවාල කැලැල් ඇති වන්නට පටන් ගනී. ඒ අතර අක්මාවේ කැලැල් නැති කොටස්, කැලැල් අතරින් වැඩිපුර පිටතට වර්ධනය වීමද සිදුවේ. එවිට බැලූ බැල්මට පෙනෙන්නේ කුඩා කුඩා ගැටිති සමූහයකින් වැසී ගිය අක්මාවකි. එම කුඩා ගැටිතිවලට ඊටත් වඩා විශාල වන්නට කැලැල් වලින් ඉඩ ලැබෙන්නේ නැත. සිදුවන්නේ  කුමක්දැයි හරියටම නොදැන  වුවද සිරෝසීස් ලෙස ඔබ හඳුන්වන්නේ මෙම රෝගී තත්ත්වයයි.
මේ ආකාරයට සිරෝසීස් තත්ත්වයට ගොදුරු වූ අයෙකුට ඉන් පසුව සිදුවන්නේ කුමක්දැයි දැන් අපි විමසා බලමු. අප ගන්නා ආහාරවල ‍පෝෂණය මුලින්ම රැගෙන යන්නේ අක්මාවටයි. එලෙස ‍පෝෂණ කොටස් රැගෙන එන ‍පෝෂක නහරයට මෙබඳු වාතාවරණයක් තුළදී අක්මාවට ඇතුළුවන්නට සිදුවන්නේ කැලැල් සමූහයක් අතරින්ය. එහෙත් මෙබඳු තත්ත්වයකදී අක්මාව තුළට යා ගන්නට නොහැකිව නහරය තුළ ඇති රුධිරය තෙරපීමකට ලක්වේ. එවිට මෙම නහරය ආරම්භවන ස්ථානයෙන්ම කුඩා නහර ගැට ගැසෙමින් පිටතට ඉලිප්පෙන්නට පටන් ගනී.  එලෙස ඉලිප්පුණු නහර ආහාර මාර්ගය ආරම්භ වන ස්ථානය නැතිනම් ආමාශය පටන් ගන්නා ස්ථානයේදී පුපුරා යන අවස්ථාද නැතිවා නොවේ.  
මෙබඳු තත්ත්වයක් මුඛයෙන් ඇතුළු කරන කැමරාවක් ආධාරයෙන් ඉතා හොඳින් නිරීක්ෂණය කරන්නට  වෛද්‍යවරුන්ට හැකියාව තිබේ.
ඒ ආකාරයේ එක් නහරයක් හෝ පුපුරාගියහොත් විශාල රුධිර වහනයක් සිදුවන අතර ‍ලේ වමනය ආකාරයට ඒවා සිරුරින් බැහැර වෙමින් එක්වරම ජීවිතය විශාල කඩා වැටීමකට ලක් වේ.
අනෙක් අතට රුධිර වහනය ආහාර මාර්ගය තුළට ගමන් කර ආහාර සමගම රුධිරයද ජීර්ණය වීමෙන්  තාර පැහැයෙන් අසූචි පහවීමද සිදුවිය හැකිය. කැමරා පරීක්ෂණයක් මගින් කල් තියා මෙම තත්ත්වය හඳුනාගත් විටදී උගුර පතු‍ලේ ඇති එබඳු ඉලිප්පුණු නහර රබර් වළලු යොදා ආරක්ෂාකර ගැනීමට හැකියාව තිබේ.
මෙවැනි තත්ත්වයකට පත් වූවෙකු මුහුණදෙන තවත් ගැටලුකාරී තත්ත්වයක්ද වේ. ආහාරවල ‍පෝෂණය අක්මාවට රැගෙන යන අප මුලින් පැවැසූ ආහාර මාර්ගයේ පහළ කොටස්වල නහර දරාගන්නට අපහසු විවිධ දුගඳ වායූන්ගෙන් පිරී ඇති බව ඔබ දන්නා කරුණකි. මේ ආකාරයේ විෂ වර්ගත් ‍පෝෂණ කොටස් සමගම අක්මාවට පැමිණෙන්නේ ශරීරය තුළට ඇතුළුවීම සඳහාය. එහෙත් අක්මාව ඊට අවකාශය නොදෙමින් ඒ සියලු විෂ ග්‍රහණය කර විනාශ කර දමයි. එහෙත් අක්මාව  පෙර කී ආකාරයට දුර්වල වූ විටදී ඒ හැකියාව ගිලිහී යමින් එබඳු විෂ සියල්ල ශරීරය තුළටත්, එතනින් එහා මොළය දක්වාත් ගමන් කරනු ලබයි. මෙවැනි තත්ත්වයකදී රෝගියා සිහි විසඥ වී ජීවිතය තවදුරටත් රැක ගැනීමට අ‍පොහොසත්  විය හැකිය.
එහෙත් එබඳු රෝගීන්ද වරින් වර වස්ති කරවමින් ආහාර මාර්ගයේ කසළ කොටස් නිරන්තරයෙන් පවිත්‍ර කිරීමේ  ක්‍රමවේදයකට ලක් කිරීමෙන් ඔවුන්ගේ ජීවිතද රැක ගැනීමට හැකියාව පවතී.
මෙම තත්ත්වයට පත් වූ රෝගීන්ගේ රුධිරයේ ‍ප්‍රෝටීන ප්‍රමාණය ක්‍රමයෙන් පහළ බැසීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් පාද ඇතුළුව මුළු ශරීරයම ඉදිමෙන්නට පටන් ගනී. ඊට හේතුව ශරීරයේ ‍ප්‍රෝටීන නිෂ්පාදනාගාරය පවතින්නේද අක්මාවේම වන නිසාය.
අපේ නිරෝගී පැවැත්මට සුවිසල් කාර්යභාරයක් ඉටුකරන අක්මාව රෝගීවීමේ ප්‍රතිඵලය ඔබ සිතනවාට වඩා බොහෝ බරපතළ බව දැන් ඔබට පැහැදිලි ඇති.  NASH (Non alcoholic steato Hepatiis) නමින්ද හැඳින්වෙන අක්මාවේ තෙල් තැන්පත්  වී හානි පැමිණ වීමේ  රෝගී තත්ත්වය ස්කෑන්  හා රුධිර පරීක්ෂණ මගින් කල්තියා හඳුනා ගත  හැකිය. අද වනවිට මෙබඳු තත්ත්වයන් පාලනය කරන්නට වුවද ඖෂධ නිපදවා තිබේ. එහෙත් වඩා වැදගත් වන්නේ අපේම වැරදි චර්යා, ඇබ්බැහි  වීම් සහ වැරදි ආහාර රටාවන්ගෙන් මිදී අක්මාව ආරක්ෂා කර ගැනීම මිස රෝගී වූ පසුව ඖෂධවලට පිහිට පැතීම නොව.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ  රෝහ‍ලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා අවධාරණය කරයි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »