Home / ජීවීතය සුන්දරද / වායු දූෂණය වකුගඩු ලෙඩකරන බව පර්යේෂණයකින් තහවුරු වේ

වායු දූෂණය වකුගඩු ලෙඩකරන බව පර්යේෂණයකින් තහවුරු වේ

2018-05-05 09:41:00       335
feature-top
පෘථිවියට අයත් වායු ගෝලය දූෂණය නිසා ඇතිවන ආදීනව ගැන බොහෝදෙනෙක් කතා කරති. ඒ අතරට අලුතින්ම එකතුවන කතාව, වායු ගෝලීය දූෂණය, මිනිසා වකුගඩු රෝගී තත්ත්වයට පමුණුවන්නට හේතුවක් වන්නේය යන්නයි. මේ පිළිබඳ අධ්‍යනයක නිරත වූ අමෙරිකා වකුගඩු අධ්‍යයන සමාජයක විද්වතුන් පිරිසක් කියා සිටින්නේ වායුගෝලය තුළ ඉතා සුලු මට්ටමෙන් සිදුවන දූෂ්‍යය තත්ත්වයක් වුව මිනිසාගේ වකුගඩු රෝගී තත්ත්වයට පත් කරන්නට හේතු වන බවකි.

වායු ගෝලීය දූෂණය නිසා අඝාතය, ඇදුම, ශ්වසන ආබාධ, පිළිකා සහ හෘද රෝග ඇති වන බව මෙයට පළමුව කරන ලද පර්යේෂණවලින් තහවුරු වී තිබිණ. එසේ වුවත් වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයන්ට දූෂ්‍යය තත්ත්වයේ පවතින වායූ ගෝලය හේතුවක් බැව් කිසිදු විද්වතකු සනාත කර තිබුණේ නැත. නව පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ දූෂණය වුණු වායුගෝලයේ පවතින දූවිලි, දුම්, දැලි සහ ද්‍රව තත්ත්වයේ ඇති අංශු මාත්‍රයක් වුව ශ්වසනය සමඟ අපේ ශරීර තුළට ඇතුලු වූ විට ඒවා රුධිරය සංසරණය හරහා වකුගඩු කරා ළඟා වන බවකි. වකුගඩු තුළදී රුධිරය පෙරීමකට ලක්වේ. එම අවස්ථාවේදී රුධිරයේ ඇති එවැනි දූෂ්‍යය කොටස් නිසා වකුගඩු හානියට පත්වන්නට ඉඩ තිබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ශරීරයට ඇතුළුවන දූෂ්‍යය කොටසේ තරම කවරක් වුවත් එමඟින් වකුගඩුවලට හානියක් සිදුවන බව පර්යේෂණයෙන් තහවුරුව තිබේ. ඒ හැරුණු විට එම දූෂ්‍යය කොටස් නිසා පෙනහලු වැනි අනෙකුත් ඉන්ද්‍රියයන්ටත් හානි සිදුවන බව දැක්වේ.

වායු ගෝලීය දූෂණය වකුගඩු රෝග ඇති කරන්නට හේතුවක් දැයි සොයා බලන ලද මේ පර්යේෂණය සිදු කිරීම ආරම්භ කෙරුණේ 2004 වසරේදීය. ඊට අවශ්‍ය තොරතුරු පුද්ගලයන් මිලියන දෙකහමාරකින් ලබා ගත් බැව් සඳහන් වේ. එම පුද්ගලයන් ජීවත් වුණු ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මක තත්ත්වය මැන බලන්නටත් විද්‍යාඥයෝ පියවර ගෙන තිබුණාහ. සාම්පලය හැටියට යොදාගත් පුද්ගලයන්ගේ වකුගඩු එකී කාලය මුළුල්ලේම ක්‍රියා කළ ආකාරය පිළිබඳ දත්තද ඒකරාශී කර ගැනිණ. මෙමඟින් පර්යේෂකයන්ට තහවුරු කර ගත හැකි වූයේ 44,793කුට මේ කාලය තුළදී වකුගඩු රෝග අලුතින් වැලඳුණු බවකි. එමෙන්ම සෑම වසරකටම පුද්ගලයන් 2,438දෙනෙකුගේ වකුගඩු අකර්මන්‍යය තත්ත්වයට පත්වන බවත් අනාවරණය කරගත හැකි විණ.

අමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලය ඉතාමත් භයානක අන්දමින් දූෂණයට ලක්ව ඇත. ඒ අතර අමෙරිකාවේ දකුණු දිග කැලිෆෝර්නියාව, දකුණු දිග ප්‍රදේශ, මිඩ් වෙස්ට් සහ උතුරු දිග ප්‍රදේශත් තිබේ. එවැනි ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් ඉතා ඉක්මනින් වකුගඩු රෝගයට බිලිවීමට ඉඩක් ඇති බව පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ.

“... වායු දූෂණය සහ මානව වකුගඩු රෝග අතර සම්බන්ධතාවය හෙළි කරන දත්ත මෙතෙක් පැවැතියේ ඉතා දුර්ලභව. නමුත් මේ පර්යේෂණයෙන් වායු දූෂණය සහ වකුගඩු රෝග අතර සම්බන්ධතාවයක් තිබෙන බව පැහැදිලිවම අනාවරණය කර ගත හැකිව තිබෙනවා. ...” යැයි යට කී පර්යේෂණයට සහභාගී වුණු විද්‍යාඥ සියාඩ් අල් - අලී පවසයි.

මේ නිසා ඉතා තදින් වායු ගෝලය දූෂණය වී ඇති ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන්ගේ වකුගඩු ඉතාමත් අවදානම් සහගත තත්ත්වයක පවතින බව පර්යේෂකයෝ පවසති. කෙසේ වුවත් වායු ගෝලීය දූෂණයේ කිසිදු මට්ටමක් මිනිස් වකුගඩු ලෙඩ නොකරන්නට හේතු වේ යැයි කියා සිතිය නොහැකි බවත් පර්යේෂකයෝ පැහැදිලිවම සඳහන් කරන්නෝය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »