Home / ජීවීතය සුන්දරද / ජීවිතයේ සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය

ජීවිතයේ සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය

2018-07-09 03:08:00       982
feature-top
සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය ජිවිතයේ බලාපොරොත්තු වෙනුවට අගය කිරීම ආදේශ කරගන්නට හුරු පුරුදු වන්න. ඔබට දැනෙන වෙනසින් ඔබම මවිත වේවි.
ජීවිතය දිහා ප්‍රවේසමෙන් බැලුවොත්, දෛනික ජිවිතයේ එදිනෙදා ක්‍රියාවලිය දිහා මොහොතකට නැවතී බැලුවොත් ඔබට පැහැදිලිව පෙනේවි එදිනෙදා ජිවිතයේ සැම දේම පාහේ අප කරන්නේ වෙන කිසිම හේතුවකට නොවෙයි ජිවිතයේ සැමදාම සතුටින් ඉන්නටයි කියල.

මූලික අරමුණ සතුටින් සිටීම වුවත් බොහෝ දෙනෙකු සිටින්නේ කනස්සලෙන්... එහෙම නේද? අපි පුරුද්දට කාව හෝ මුණ ගැහුණු ගමන් නැතිනම් දුරකථන ඇමතුමක් දුන් ගමන් අහන්නේ "ඉතින් කොහොමද?" කියල. මෙයට පුරුද්දක් ලෙස බොහෝ විට ලැබෙන පිළිතුර තමා "ඔහේ ඉන්නවා" කියන එක. බොහෝ විට මෙම පිළිතුරෙත් ගැබ් වෙලා තියෙන්නේ කනස්සලු ස්වභාවයක්.

ඉතින් අද ඔබ සමඟ බෙදාගන්නට හිතුවේ ජිවිතයේ හැමදාටම ඉතාම වටිනා පුංචි සුත්‍රයක් ගැන. සැමදාම සතුටින් ජිවත් වන්නට පෙරුම් පුරන ඔබ හැමෝම මේ සූත්තරේ රහස හඳුනාගෙන මේ පුංචිම පුංචි අභ්‍යාසය කරන්නට ලෑස්ති නම් ගෙවෙන සෑම දවසක්ම අනිවාර්යයෙන්ම මහත් සතුටින් ගත කරන්නට හැකි වනවා. ඉතින් මොකද්ද මේ සූත්‍රය.

ජිවිතයේ බලාපොරොත්තු වෙනුවට අගය කිරීම ආදේශ කරගන්න.

ඔව්! ඕක තමා සූත්‍රය. ඔබේ පුංචි හෝ සිත් තැවුලක් ගැන සිතා බලන්න. මෙයට හේතුව ඔබ ඊට විරුද්ධ දෙයක් බලාපොරොත්තු වීමයි. දරුවන් සමඟ කේන්ති යන්නේ අප බලාපොරොත්තු වන ආකාරයට දරුවා ක්‍රියා නොකිරීම නිසයි. සැමියා සමඟ සිත් තැවුල් වන්නේ අප බලාපොරොත්තු වන ආකාරයට ඔහු ක්‍රියා නොකිරීමයි. අන් සැම දෙයක්ම ගතහොත් මෙයට සමාන හේතු සොයාගන්න පුළුවන්.

ඉතින් කොහොමද අගය කිරීම තුලින් මෙය වෙනස් වන්නේ? නිදසුනක් හරහා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්.

නිදසුනක් ලෙස ඔබේ සැමියාගේ ක්‍රියා කලාපය නිසා ඔබ සිත් තැවුලෙන් නම්, මුලින්ම ඔබට සැමියෙකු සිටීම අගය කරන්න. සැමියෙකු නොමැති, පවුලක අත්දැකීමක් නොමැති බොහෝ දෙනෙක් ඔබ සිටිනා ලෝකය ලබන්නට සිහින මවනවා නොවේද? ඔබේ සැමියා තුල ඇති ඔබ කැමති ගති පැවතුම් ගැන ආවර්ජනය කරන්න. ඔබට සැමියෙකු සිටීම ගැනත්, ඔහුගේ ක්‍රියා කලාපය තුලින් ඔබට දායාද වන ඉවසීම, තේරුම් ගැනීම සහ ශක්තිමත් බව වෙනුවෙන් ඔබ අදහන දෙවියන්ට හෝ විශ්ව ශක්තියට ස්තුතිවන්ත වන්න.

මෙම ක්‍රියාදාමය ඔබගේ අනෙකුත් සිත් තැවුල් වලටද ආදේශ කරගන්නට පුළුවන්.

මෙයින් ඔබගේ ගැටලුව නිරාකරණය නොවන්නට පුළුවන්. නමුත් එම ගෙටලුව දිහා වෙනස්ම කෝණයකින් බලන්නට ඔබට හැකියාව ලැබෙනවා. හඬා වැටෙමින් මැසිවිලි නගන්නෙකු වනවා වෙනුවට ඔබ සිටියාට වඩා උසස් තැනක සිට ඔබේ ගැටලුව දකින්නට හුරු වනවා.

සමහර විට ඔබ ගැටළුවක් යැයි සිතු දෙය ආශීර්වාදයක් බවද තේරුම් ගන්නට හැකි වන අවස්ථා තිබෙනවා. ඔබ සැමදාම සතුටින් ජිවත් වන පුද්ගලයෙකු බවට පත් වනවා. ඔබ වටා සිටින්නන් පවා ඔබ මැසිවිලි නගන්නෙකු වෙනුවට ශ්‍රියාවන්ත පුද්ගලයෙකු සේ දකින්නට පටන් ගන්නවා.

පුංචි පේළියක් වුවත් මෙය ගැඹුරු අර්ථයක් සහිත අභ්‍යාසයක්. ජීවිතය ආශීර්වාදයක් සේ දකින්නට හුරු වූ විට ඔබේ සතුට ඔබේ විශාලම ආභරණය වනවා. මේ නිසා සතුට අනාගතයේ යම් දවසක අත් දකින්නට ඇති දෙයක් නොවේ.. ඔබ තුළම ඇති සැඟවුණු පහනක්. අදම එහි තිර හැර බබලන්නට මෙන්ම එලිය දෙන්නට පටන් ගන්න.

curtesy :theasianparent.com


More News »