Home / ජීවීතය සුන්දරද / සිත කළඹන විකාර උත්සව ජීවිතයම අවුල් කරයි

සිත කළඹන විකාර උත්සව ජීවිතයම අවුල් කරයි

2018-07-16 01:26:00       376
feature-top

මිනිසත් බව ලැබූ අපි ජීවිතයේ විවිධ සංධිස්ථාන පසුකරන්නෙමු. පවුලක් ලෙසින් සමාජයේ දිවි ගෙවීමේදී අනෝන්‍ය සබඳතාවයන්ද අතිශය වැදගත්.
 
එම සමාජ සබඳතා හමුවේ උත්සව, ප්‍රිය සම්භාෂණ එමටයි.

එහෙත් අද පවත්වන උත්සවයන්හි සැබෑ උත්සවශ්‍රීය ගිලිහී ගොස්. විලම්භීත රටාවකටයි ඒවා සමරනු ලබන්නේ. ඇතැම් විට සැමරිය යුත්තේ කුමන උත්සව ද? ඒවා සැමරිය යුතු අන්දම කුමක්දැයිවත් බොහෝ දෙනා නොදනී. අපේ හාමුදුරුවනේ, මේ පවතින රටාව හමුවේ මිනිසුන් මංමුලාවෙලා. මොවුන්ගේ කැළඹිලිකාර මනස සුවපත්වීමට මොවුන් උදෙසා බුදුබණ පදයක් දෙසනු මැනවි.

අප සමාජයේ විවිධාකාර ලෙසින් විවිධ මට්ටමින් උත්සව පවත්වනු ලැබේ. සමහරු උත්සව පවත්වන්නේ උත්සවයක් පවත්වා සතුටුවිය යුතු අවස්ථාවක නොවේ. ඔබ උත්සවයක් පැවැත්විය යුත්තේ උත්සව පැවැත්වීමට තරම් අවශ්‍ය කාරණා ඇති විටයි. එහෙම නැතුව තවත් අය කරන පරිදි අන්ධානුකරණයෙන් යුක්තව අවිචාරවත්ව කටයුතු කිරීම නම් කිසිසේත්ම අගය කළ යුත්තක් නොවේ.

අද අනුන්ට වඩා තමන් කැපී පෙනීමට උත්සව පැවැත්වීම තුළින් සමාජය මංමුලා වී ඇත. තමන්ගෙ හැඟීම් පෙරදැරිව නිවැරැදිව කටයුතු කිරීමේ හැකියාවක් තමාට තිබිය යුතුයි. තමා පවත්වන උත්සව සංවිධාන කිරීම, සරල ආකාරයෙන් අවශ්‍ය පරිදි කරගෙන යාම පිළිබඳ අවබෝධයක් සියල්ලටම වැඩියෙන් තිබිය යුත්තේ තමාටමයි. සමහරු උත්සව පැවැත්වීම පිළිබඳ අන්‍යයන්ගෙන් අවබෝධය, අවවාද උපදෙස් ඇසීමට යාමෙන් වඩාත් අපහසු තත්ත්යවයන්ට පත්වේ. නිවැරැදිව ඒ අනුව කටයුතු කළවිට යහපතක් සිදුවේද විමසීමට තරම් බුද්ධියක් තමා සතුවීම ඉතා වැදගත්ය. එසේම එම උත්සවය සඳහා වියදම් කරන මුදල් ගැන හොඳ තක්සේරුවක් කිරීමට හැකියාවක් තමාට තිබිය යුතුය. යොදවන මුදල සොයා ගන්නා ආකාරය පිළිබඳව විමසීමක් කිරීම ද ඉතා වැදගත්ය. සමහරු උත්සව සංවිධානය කරන්නේ මුදල් වැය කිරීම පිළිබඳව එතරම් අවබෝධයක් නොමැති ආකාරයෙනි. මේ අතර බොහෝ දෙනා මුදල් සොයාගත නොහැකිව ණයවීමට පෙළඹෙයි.

පින්වත් දරුවනේ, උත්සව පැවැත්වීමේදී මනා සංවිධානත්වය, මනා කළමනාකාරීත්වය, ක්‍රමවත්භාවය මෙන්ම සරල භාවය ඉතා වැදගත්.

පුද්ගලයකුට උපතේ සිට තම ජීවිතයේ විවිධ අවස්ථාවල උත්සව පැවැත්වීමට සිදුවේ. අවසානයේ අවමංගල්‍ය කටයුතු ද උත්සව අවස්ථාවක් ලෙසින් කරනු අප දැක තිබේ. මේ අතර ජීවිතයේ වැදගත්ම අවස්ථා මෙන්ම වර්ෂය පුරා විශේෂිත වූ දින යොදා ඒ දිනවල ද උත්සව පවත්වා සැමරුම් කරනු ලැබේ. ක්‍රමක්‍රමයෙන් සැමරුම් ප්‍රමාණය වැඩි වී වර්ෂය පුරා සෑම දිනක්ම වගේ කිසියම් සැමරුම් සහිත දිනයක් වී තිබේ.

වර්තමානයේ මවුවරුන්ගේ, පියවරුන්ගේ දින සමරති. මීට සති කිහිපයකට ඉහත ඉරු දිනක දී පියවරුන්ගේ දිනය සැමරුවා ඔබට මතක ඇති. මේ විදිහට එක දිනයක් පමණක් මවුපියන් සිහිපත්කර ඒ අයට සුබ පැතුම් තිළිණ පිරිනැමීම ප්‍රමාණවත් ද? ඉඩ ලැබෙන සෑම මොහොතකදීම මවුපියන්ගේ දුක සැප සොයා බැලීමට දරුවන් කාරුණික විය යුතුයි. එලෙසම වැඩිහිටියන්ගේ දිනයේදී පමණක් වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන් බලා ඒ අය සමඟ විනෝද වීම ප්‍රමාණවත් නොවේ. ඉඩ ලැබෙන අවස්ථාවල එසේ කළ හැකි නම් ඒ සඳහා දින වෙන්කිරීමේ අවශ්‍යතාවක් උද්ගත වෙන්නේ නැත.

තවත් පැත්තකින් මවුපියන් හා දරුවන් එකට සහභාගි වන උත්සවලදි දරුවන් බීමතින් හැසිරෙයි. බීමත්ව පියවි සිහිය ව්‍යාකූල වූ විට මවුපියන් අබියස දරුවන් හැසිරෙන්නේ අවිනීත අයුරිනි. ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මකකර අඩ නිරුවතින් දරුවන් නර්තනයේ යෙදෙද්දී මවුපියන් ද එයට සහය දෙයි. මවුපියන් වයස් ගත වුවද දරුවන් කරන වැරැදි වැඩ අනුමත කිරීම, ඊට අනුබල දීම නම් සුදුසු නොවේ. දරුවන්ගේ වැරැදි පෙන්වා දීමට තරම් හැකියාවක් ඇති තත්ත්වයක මවුපියන් පසුවිය යුතුයි. කිසිවිටෙකත් මවුපිය ගරුත්වයට දරුවනට කෙලෙසීමට ඉඩ නොදිය යුතුයි.

උත්සව පැවැත්වීම ගැන කථා කිරීමේදී, බොහෝ විට සමහර උත්සව අන්‍යයන්ට අවශ්‍ය පරිදි එහෙමත් නැතිනම් තමන්ගෙ අභිමතාර්ථයට අනුකූලව පවත්වනු ලැබේ. බලන්න උපන් දින සිහිපත්කර උත්සව පවත්වන අවස්ථා දෙස. උපන් දිනය දරුවාගේ. වැඩිහිටි ඔබයි එය සාදයක්කර ගන්නේ. දරුවකුගේ උපන් දිනය යෙදීම ප්‍රීතියක්. එහෙත් මස් බඳුන් හිස්කර, මත්ද්‍රව්‍යගෙන සිහි විකල්වී දැඟලීමට තරම් කරුණක් නෙවේ. සමහර උපන් දින සාද කෙළවර වන්නේ රණ්ඩුසරුවල්වලිනි. ජීවිත හානි වූ අවස්ථාත් අප අසා තිබෙනවා. තවත් සමහරු අසීමිතව වියදම් කරන්නේ ණයවීමෙනි. අන්තිමේදී ණය පියවා ගන්නට නොහැකිව අන්ත අසරණ වෙනවා. සැබැවින්ම උපන් දිනයක් යෙදීම ප්‍රීති වීමට හේතුවන කාරණයක්ද? උත්සව පැවැත්වීමයි සිහිපත් කරලීමයි අතර තරමක වෙනසක් පවතී. සිහිපත්කර කිසියම් වූ සත්කාර්යයක නිරතවීම වටී. සද්කාර්යයන්හි නියුක්ත වීමට කිසියම් මුදලක් වැය වුණ ද එය අනවශ්‍ය මුදල් වැය කිරීමේ ගනයට ගැනිය නොහැකිය.

උපන් දින සිහිපත්කර තමන්ට හැකි මට්ටමින් කිසියම් අසරණ වූ කෙනෙක්ට අවශ්‍ය දෙයක් පරිත්‍යාග කළ හැකියි. ආහාරපාන, ඇඳුම් ලබාදීම, වෙහෙර විහාරස්ථාන පිළිසකර කිරීම, ආගමික ස්ථානයකට ගොස් කිසියම් වූ ආගමික කටයුත්තක, බෝධි පූජාවක් වැනි දෙයක නිරතවීම කළ හැකියි. ඉන් ලැබෙනුයේ අප්‍රමාණ සැනසීමකි.

උපන් දින උත්සවවලට අනතුරුව සමහරු දරුවන්ට නම් තැබීම, හිසකෙස් කැපීම, ඉඳුල්කටගෑම, අකුරු කියවීම මෙන්ම මල්වරවීම ආදියටත් උත්සව පවත්වනවා. දැරියක් මල්වර වූ පසු චාරිත්‍ර විදි ඉටුකිරීම සුදුසුයි. ඊට එහා ගිය උත්සව සාද නම් අනුමත කළ නොහැකියි. දියණියගේ අනාගතයට ඉතිරි කළ ඇති මුදලක් අනවශ්‍ය උත්සවයක් වෙනුවෙන් වියදම් කරන්නේ මොකටද?

ඔබේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් වන විවාහය උත්සව ආකාරයෙන් ගැනීමේ වරදක් නොවේ. එහෙත් එය කළ යුත්තේ දැරිය හැකි මට්ටමකිනි. සැබැවින්ම වර්තමානයේ නම් උත්සව ගත යුත්තේ විවාහ වන දිනයේ නොව එය පවත්වාගෙන ගිය ආකාරය ගැන සතුටු විය හැකි කාලයකදීයි. ඒ අද වන විට තරු හෝටල්වල ආකර්ෂණීයව පවත්වන විවාහ උත්සවවල යුවළවල් හෙට වන විට වෙන් වී යන බැවිනි.

විවාහය පමණක් නොව මරණය වැනි දුක්බර අවස්ථා ද සමහරු උත්සවශ්‍රීයෙන් පවත්වති. මරණ ගෙදරට පැමිණෙන පුද්ගලයන්ට මත්ද්‍රව්‍යවලින් සංග්‍රහ කරති. රාත්‍රියේ සූදු ක්‍රීඩා එමටයි. අතීතයේ නම් රැයපහන් කළේ පිරිත් දේශනාවලිනි.

මිය ගිය පුද්ගලයා සිහි ගන්වා කෙරෙන හත් දවසේ, තුන්මාසේ, අවුරුද්දේ දාන මුදල් වියදම්කර සිදුකරනුයේ අන්‍යයන්ට පෙනීමටයි. එහෙත් වටින්නේ ජීවත්ව සිටින කාලයේ ඔවුනට සැලකීමයි. මේ අන්දමින් උත්සව ගතයුතු අවස්ථාත් ඒවා ගත යුත්තේ කෙලෙසද යන්නත් අද අපේ ඇත්තන්ට නොවැටහීම මහත් සංවේගයට කරුණකි.

අද ආර්ථිකය යටතේ සමාජයේ අනෙක් පුද්ගලයන්ගේ අවශ්‍යතා මත උත්සව පැවැත්වීම අනුවණය.

ඒ පීඩාකාරි මානසිකත්වයෙන් ඔබ වහා මිදෙන්න. ජීවිතයට අවශ්‍යම උත්සවයක් ඉතාම චාම්ව සරලව පවත්වන්නට හිතට ගන්න.

සැබැවින්ම ජීවිතයේ වැදගත්ම අවස්ථා ස්මරණය සැහැල්ලු සරල ලෙසින් ආගමික වතාවත් අනුව කළහැකි නම් එය අනිත් අයට ද ආදර්ශයක් වනු නොඅනුමානයි.

වචනයට වඩා ක්‍රියාවෙන් ආදර්ශවත්වීම ඉතා වැදගත් වන්නේ එබැවිනි.

curtesy :tharunie.lk


More News »