Home / ජීවීතය සුන්දරද / නිරෝගී දිවි­ය­කට මාන­සික සෞඛ්‍යය

නිරෝගී දිවි­ය­කට මාන­සික සෞඛ්‍යය

2018-07-18 01:05:00       978
feature-top
අප බොහෝ විට කතා කරන්නේ, මානසික සෞඛ්‍යයට වඩා, කායික සෞඛ්‍ය පිළිබඳ ය. මෑතක් වනතුරුම ජන සමාජය තුළ විශ්වාසය වූයේ, වඩා හොඳ සෞඛ්‍යයක් යනු කායිකව පවත්නා නිරෝගී බව කියා ය.මේ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීම වූයේ, පුද්ගලයකුගේ කායික හා මානසික නිරෝගීභාවය, යහපත් සෞඛ්‍ය වන බව ය. එහෙත්, වසර 2000න් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සෞඛ්‍ය පිළිබඳ අර්ථ දැක්වූයේ, මිනිසාගේ කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික සමතුලිතභාවය, යහපත් සෞඛ්‍ය ලෙසට ය.

‘‘මේරියම් වෙබ්ස්ටර්ගේ විග්‍රහයට අනුව, පුද්ගලයාට ජීවත් වීමේ අවශ්‍යතාව සපුරා ගැනීමට හා සමාජයේ ක්‍රියාකාරී වීම සඳහා පවත්නා හැඟීම් හා කායික නිරෝගීභාවය මානසික සෞඛ්‍ය වෙයි.’’පහත සඳහන් අංග ඔබ තුළ තිබේ නම්, ඔබට යහපත් මානසික සෞඛ්‍යයක් පවතින්නේ ද යන්න පරීක්ෂා කරගත හැකි ය.

තමාගේ හැකියා පිළිබඳ විශ්වාසයක් තිබීම

සාමාන්‍ය මට්ටමේ ආතතියක් විඳදරා ගැනීමට හැකියාවක් පැවතීම

ප්‍රශස්ත මට්ටමින් පුද්ගල අන්තර් සබඳතා පවත්වා ගැනීමට හැකි වීම

නිදහස් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීමට හැකි වීම

යහපත් මානසික සෞඛ්‍යයක මූලික ලක්ෂණ එබඳු වුව ද, සර්ව සම්පූර්ණ නිර්වචන සැපැයීමට තවමත් හැකිවී නොමැත. බහුතරයකගේ මතය වන්නේ, මානසික සෞඛ්‍ය හා මානසික රෝග එකිනෙකට තේරුම්ගෙන නොදෙන්නක් බව ය. එනම්, කිසියම් පුද්ගලයකු තුළ මානසික රෝගයක් නොමැති වීම, යහපත් මානසික සෞඛ්‍යයක් ඇතැයි කීමට සුදුසු මිනුම් දණ්ඩක් නොවන බව ය. මානසික සෞඛ්‍ය පිළිබඳ ඉහත අදහස සනාථ කෙරෙන ගාථා පාඨයක් බුදුරජාණන් වහන්සේ ද දේශනා කර ඇත.

‘‘ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමංධනං

විස්වාසා පරමා ඥාතී - නිබ්බානං පරමං සුඛං’’

ඒ අනුව මෙහි, පුද්ගලයාගේ නීරෝගී බව පරම ලාභය ලෙස දක්වා ඇත. එමඟින්, මිනිසකු හොඳ කායික සෞඛ්‍යයකින් පසුවීම ඉතා වැදගත් බව පෙන්වා දෙයි. සතුට පරම ධනයක් වන බව කීවේ මානසික සෞඛ්‍ය පිළිබඳ ය. ඔබ ගෙවන ජීවිතය ඉතා ප්‍රීතිමත් නම්, සොම්නස දනවන්නේ නම්, ඔබ හොඳ මානසික සෞඛ්‍යයකින් හෙබි අයකු බව සනාථ වෙයි. විශ්වාසය පරම ඥාතියකු ලෙස සැලකීමෙන් අදහස් කළේ, විශ්වාසය නොමැති තැන සැකය ඇතිවන බවත්, එමඟින් සාමාජීය වශයෙන් පිරිහීමට පත් වන බවත් ය.

නූතන බටහිර මනෝ විද්‍යාවේ සොයා ගැනීම්වලට අනුව, මිනිසා තුළ නිධන්ගතව, නොසිඳී පවත්නා විවිධ වූ සිතුවිලි ඉතා බරපතළ ඒවා නොවුව ද, ඒවා මුල් කරගෙන පහත ආකාරයේ කායික රෝගී තත්ත්ව ඇති විය හැකි බව දක්වා තිබේ.

ආහාර ජීරණ පද්ධතියේ ආබාධ

ස්ත්‍රීන්ගේ ඍතුවීම්වල දෝෂ හට ගැනීම නිසා ගැබ් ගැනීමේ ආබාධ

චිත්තවේග පාලනය කර ගත නොහැකි වීම, ශාරීරික ක්‍රියාකාරීත්වය වෙනස් වීම මත ඇතිවන අධික රුධිර පීඩනය

හෘද ස්ඵන්ධනයේ වෙනස් වීම්

ශ්වසන ආබාධ

මස්පිඬු වේදනා

රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම

ඉහත ආකාරයේ කායික රෝගී තත්ත්වලට බලපෑවේ, මිනිසා තුළ නිධන්ගතව පැවැති අයහපත් චිත්තවේගික තත්ත්වයන් ය. තවත් සමහර විටෙක, කායික රෝගී තත්ත්ව නිසා, මානසිකව විවිධ ගැටලූකාරී තත්ත්ව ද ඇති විය හැකි ය.

මානසික සෞඛ්‍ය අයහපත් වීම නිසා ඇති වන අධික රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම වැඩි වීම, මාංශ පේශිවල වේදනාව, හෘදයාබාධ ආදියට ප්‍රතිකාර ගැනීම, මෑත කාලීනව ඉතාමත් වැඩි වී ඇත. ජීවන රටාව ඉතා ම සංකීර්ණ වීම, මානසික විවේකයක් නොමැති වීම ආදිය මේ තත්ත්වයට මූලික හේතුව වී ඇත. මේ වන විට ආසියාතික රටවල ද මානසික සෞඛ්‍ය පිරිහෙමින් යන බව, එම රටවල සමාජ දත්ත පරීක්ෂා කර බැලීමෙන් පෙනේ. අමෙරිකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික සංගමය වෛද්‍ය ප්‍රතිකාර පතන මඟින් සෑම රෝගීන් දෙදෙනකුගෙන් එක් අයකු මානසික හා චිත්තවේගී කැළඹීම්වලට සබඳකම් පවත්වන රෝගයකින් පෙළෙන බව පවසයි. මේ මඟින් කියැවෙන්නේ, රෝගාබාධ සියල්ලක්ම, මානසික සෞඛ්‍ය අයහපත් වීම නිසා ඇති වූ රෝග නොවන බව ය. රෝගීන්ගේ ආබාධවලට මානසික හෝ චිත්තවේගික කැළඹීම් කිසියම් ප්‍රමාණයකින් බලපා ඇති බව ය.

මානසික කැළඹීම නිසා පැනනගින ඉන්ද්‍රිය ආබාධ පිළිබඳ පැමිණිලි කිරීම, සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු විය යුත්තකි. ඉන්ද්‍රිය ආබාධයක් ලෙස පෙනෙන්නට තිබුණ ද, එයට හේතු වී ඇත්තේ, මානසික ගැටලූ ස්වභාවයකි. මේ රෝගී තත්ත්වය මනෝ කායික අක්‍රමිකතා ලෙස හඳුන්වයි. මනෝ කායික අක්‍රමිකතා යන්නෙන් අදහස් කරන්නේ, ශාරීරික රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නා වූ ද, ශාරීරික විකෘතියක් ඇති කරන්නා වූ ද, මනෝජනක, නැතිනම් මනසෙහි හටගත් ආබාධිත තත්ත්වයකි. මෙවැනි අක්‍රමිකතා තත්ත්වයක දී, චිත්තවේගික ගැටලූව ප්‍රථම ස්ථානයේලා සැලකෙන අතර, කායික රෝග ස්වභාවය දෙවැනි ස්ථානයේලා සැලකේ. සතුන් තුළ මේ තත්ත්වය ඇති වන්නේ ඉතා ම අඩුවෙනි.

ඊට හේතු වන්නේ, ඔවුන් මුහුණදෙන සිදුවීමට එවලේම ප්‍රතික්‍රියා දක්වා, එය සිතින් මඟහැරීම ය. ඒත්, ඔබ කරන්නේ ඔබ මුහුණදෙන බිය, ශෝකය, කෝපය වැනි සිදුවීම් සිදුවී දින ගණනාවක් යනතෙක්, එය සිතින් ඉවත් කර නොගැනීම හා නැවත නැවත මතක්වීම නිසා, මනෝජනක සිදුවීම්වලට මුහුණ දීම ය. මිනිසා තුළ අධික චිත්තවේගී තත්ත්ව බොහෝ වේලා රැඳී තිබීමට එක් හේතුවක් ලෙස මනෝ විද්‍යාඥයකු වූ හෝම්ස් පෙන්වා දෙන්නේ, ඉච්ඡාභංගත්වයට ගොදුරු වූ පුද්ගලයකුට ප්‍රකෝපකාරී ලෙස හැසිරීමට ඉඩප්‍රස්ථා නොලැබී යාම බව ය. එසේ හැසිරීමට ඉඩ ලැබෙන්නේ නම්, ඔබ තුළ පැනනගින ශාරීරික හා මානසික ආවේග කෙමෙන් බැහැර කිරීමට හැකි වනු ඇත.

පුද්ගලයාට තම අභ්‍යන්තරය මඟින් ද, බාහිර සමාජයෙන් ද ආදරය හා ගෞරවය හිමි වේ නම්, ඔහු තුළ අභිමානයක් ඇති වේ. තමාට තමා පිළිබඳ ඇති විශ්වාසය, තමා යහපත් කෙනකු යැයි යන හැඟීම අනුව තම අභිමානය ගොඩනැගෙන අතර, රජය මඟින් මිනිසාට සලසා දී ඇති පහසුකම් මඟින් නීතිරීතිවලින් මානව අයිතීන් ආරක්ෂා කිරීම, යහපත් සමාජ ආර්ථික රටාව, ගුණගරුක සමාජයෙන් පුද්ගලයාට බාහිරව ලැබෙන අභිමානය ඇති වේ. සමාජයේ සෑම මිනිසකුටම අවශ්‍ය මූලික අවශ්‍යතා ඉටු කර දෙමින් සමාජය තුළ ආදරය, රැකවරණය සහ ගරුත්වය හිමි කර දෙන්නේ නම්, සැමටම අභිමානවත්ව ජීවත් වීමට හැකි ය.

එමඟින්, උසස් මානසික සෞඛ්‍යයක් හිමි වේ. එමෙන් ම, යම් යම් මානසික දුර්වලතා හෝ මානසික ගැටලූ ඇති අයට, සමාජයේ අන් අයට මෙන් සමානව සැලකීම, ගෞරවයට ලක් කිරීම, ආදරය, දයාව, රැකවරණය ලබා දීම මඟින් ඔවුන් තුළ ද උසස් මානසික සෞඛ්‍යයක් ඇති කළ හැකි වේ. මානසික ගැටලූ ඇති අයට ආරක්ෂිත බවක් දැනෙන්නේ, ඔවුන් තුළ මෙතෙක් සැඟවී, යටපත් වී තිබූ හැඟීම්වලින් නිදහස් කිරීමට හැකි වූ පසුව ය. මානසික රෝගීන් බවට පත් වූවන් තුළ යහපත් බලාපොරොත්තු, ආරක්ෂාව සහ ඔවුන්ට ගෞරවය ගෙන දීමට කටයුතු කරයි නම්, ඔවුන් තුළ අභිමානවත් බව, උසස් බව ඇති වේ. සමාජය තුළ ඉච්ඡාභංගත්වයට පත්, සහනයක්, සාධාරණයක් පතන, අසරණ වූ සිත්, පීඩාවට පත්වූ අයගේ සිත් තුළ යහපත් බලාපොරොත්තු මල්ඵල ගැන්විය හැකි නම්, ඔවුන් තුළ ඇතිවන අභ්‍යන්තර හා බාහිර අභිමානය මඟින් උසස් මානසික සෞඛ්‍යයක් ඇති කර ගත හැකි ය. මෙලෙස ලොව සියලූ දෙනාට ආදරය දැක්වීමෙන්, උසස් බව, අභිමානවත් බව ඇති කළ හැකි ය.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »