Home / ජීවීතය සුන්දරද / නිරවුල් හා පිරිසිදු මනසකට භාවනාව

නිරවුල් හා පිරිසිදු මනසකට භාවනාව

2018-11-09 01:13:00       102
feature-top
අප රටේ ජනතාව මෙන්ම විදේශිකයන් පවා “භාවනා” කිරීමට වැඩි උනන්දුවක් දක්වති. එහෙත් බොහෝ දෙනා “භාවනා” ව පිළිබඳ නිවැරැදි අවබෝධයකින් කටයුතු කරනවාද යන්න ගැටලුවකි. බුද්ධ දේශනාවට අනුව “භාවනාව” ලෙස හඳුන්වන්නේ “කුසල්” අරමුණක “සිත” පවත්වා ගන්නවා කියන කාරණයයි. එය කුසල චිත්ත ඒකාග්‍රතාවය වශයෙන් හඳුන්වනවා. “භාවනා”වෙන් සිත දියුණු කළ හැකියි. තථාගතයන් වහන්සේ  සිත දියුණු කළේ  භාවනාවෙන්.

භාවනාව සිතේ හටගන්නා පාප සිතුවිලි ඉවත්කර “සිත” නිරවුල් කර පිරිසිදු කරනවා. මානසික සුවයට වගේම වර්ධනයට ප්‍රත්‍යක්ෂ ඔසුවක් තමයි “භාවනාව”. එය බටහිර මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේත් පිළිගන්න කාරණාවක්. ගැටලුව තමයි අපේ අය නිවැරැදිව “භාවනාව” සිදුකරනවාද කියනඑක. නිවැරැදිව “භාවනා” වට අවතීර්ණ නොවුණහොත් එහි ප්‍රතිඵලය ලැබෙන්නෙ නැහැ.

වර්තමානයේ බොහෝ දෙනා “භාවනා” කරන්නේ සිත හදාගන්න මිසක් සිත දියුණු කරගන්න නොවෙයි. සිත දියුණු කරගෙන සංසාර ගමනේ එන දුක්ක දෝමනස්සයන්ගෙන් මිදෙන්න “භාවනා” කරන පිරිස අඩුයි. භාවනාව නිවනට උපකාර වන එකක් බව බුද්ධ දේශනාවෙත් සඳහන් වෙනවා. ඒ නිසා භාවනා වඩන්න පෙර සිත සීලයට පුරුදු කරලා තිබෙන්න ඕන. සිල්වත් බවක් නැත්නම් භාවනාව පිහිටන්නෙ නැහැ. සිත, කය, වචනය යන තිදොර සන්යමයට සීලය කියලා කියනවා. ශික්ෂාපද පනවලා සීලය ආරක්ෂා කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

තථාගතයන් වහන්සේගේ දේශනාවන්ට අනුව භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව ලෙස ඒ දෙක හඳුන්වනවා. සමථ භාවනාවට සමාධි භාවනාව කියලත් කියනවා. සමථ භාවනාවෙන් කෙලෙස් යටපත්වනවා පමණයි. සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නෙ නැහැ. විදර්ශනා භාවනාවෙන් තමයි කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන්. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් භාවනාවක් තමයි විදර්ශනා භාවනාව.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට විදර්ශනා භාවනාවෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා සමථ භාවනාව තුළ කර්මස්ථාන හතළිහක් තිබෙන බව. මේවා සම සතලිස් කර්මස්ථාන වශයෙනුත් හඳුන්වනවා. සමථ භාවනාව වඩන සෑම යෝගියෙක්ම මේ හතලිහෙන් එකක් තමන්ගේ භාවනාවට යොදා ගන්න ඕන. ඒ වගේම තමයි මේ භාවනා කර්මස්ථාන හතලිහ අතරෙ පළමුවෙන්ම තිබෙනවා අනුස්සති භාවනා දහයක්. අනුස්සති කියන්නෙ අනුව සිහිකරනවා කියන එකයි. මේ අනුස්සති භාවනා පුද්ගලයකුට ඉතාම වැදගත් වෙනවා. අනුස්සති භාවනා දහය අතරෙ තමයි ආනාපානසති භාවනාව තිබෙන්නෙ.

වර්තමානයේ ගිහි පැවිදි දෙපිරිසම නොයෙක් අරමුණුවල තමයි පසුවන්නේ. අතළොස්සක් තරම් පිරිසක් තමයි ජීවිත ස්වභාවය අවබෝධ කරගෙන කටයුතු කරන්නේ. සියලු දෙනාම ලෝභය මුල්කරගෙන තමයි කටයුතු කරන්නේ. මේ නිසා සියලුදෙනාම ඒ කෙරෙහි ඇලී ගැලී සිටිනවා. මේ ලෝභයේ සීමාවක් කෙළවරක් නැහැ. ඒ නිසා මිනිසුන් නිතරම අතෘප්තියෙන් තමයි පසුවන්නේ. කිසිම දෙයකින් සෑහීමකට පත්වන්නෙ නැහැ.

මේ හේතුව නිසා මිල මුදල්, වස්තුව සොයන්න ඉතා වෙහෙසක් දරනවා. එහෙත් ඒ සියල්ල මිනිසුන් බලාපොරොත්තු වන ආකාරයට ඉටුවන්නෙ නැහැ. එනිසා සිතේ පථිච වේදනාවක් ඇති වෙනවා. එයින් ද්වේශය උපදිනවා. බොහෝදෙනා අතර හටගන්නා දේ තමයි ලෝභය, ද්වේශය හා මෝහය. එමගින් සිත නොමගට ඇදී යනවා. සිත නොසන්සුන් වෙනවා. පළමුව මේ අයුරින් නොසන්සුන් වන සිත සන්සුන් කර ගන්න ඕන. අන්න ඒ කාර්ය කිරීමට වඩාත්ම උචිත දේ තමයි “ආනාපානසති” භාවනාවේ නිරතවීම.

බොහෝදෙනා භාවනා කරන්නෙ අවබෝධයකින් තොරවයි. ඇතැමුන් තුළ භාවනාවට අවශ්‍ය සිල්වත් බව සහ ශ්‍රද්ධාව නැහැ. එහෙම අයට භාවනා කරන්න බැහැ. භාවනාව තුළින් ලැබෙන ධ්‍යානය ඔවුන්ට ලබන්න බැහැ. ඇත්තටම ඒක තමන් විසින්ම තමන් මුළාකර ගැනීමක්. එහෙම පුද්ගලයන් භාවනා කර අවසානයේ එහි ප්‍රතිඵලයක් නොමැති බව පවසනවා. භාවනාව තුළින් සැබෑ ප්‍රතිඵලය ලබන්නට ‍නම් අප සිත කය වචනය යන තුන්දොර සංවර කොට ගෙන සියලුම තණ්හා ආශාවන් සිතින් දුරලිය යුතුය.

(under the courtesy of womanly.lk blog web)

More News »