Home / ජීවීතය සුන්දරද / වස මුසු තෙල් වෙනුවට පොල්තෙල් භාවිත කරන්න

වස මුසු තෙල් වෙනුවට පොල්තෙල් භාවිත කරන්න

2018-11-27 09:45:00       128
feature-top
වර්තමානයේ බොහෝ දෙ‍නකු පොල්තෙල් කෙරෙහි දක්වන්නේ බියකි. ඊට හේතුව පොල්තෙල් ශරීර සෞඛ්‍යයට අහිතකර යැයි වෛද්‍යවරුන් පැවසීම ය. විශේෂයෙන් පොල්තෙල්වලින් මිනිස් සිරුරේ කොලෙස්ට‍‍රෝල් ප්‍රමාණය ඉහළ යන බව සොයාගෙන තිබීමය. අද වන විට පොල්තෙල් වෙනුවට විවිධ පිසුම් තෙල් වර්ග භාවිතයට බොහෝ දෙනකු පුරුදු වී සිටින්නේ එබැවිනි.

එහෙත් අපේ රටේ ඉතිහාසයට අනුව පොල්තෙල් යනු ඖෂධයකි. අතීතයේදී සිංහලයා කැවුම් කොකිස් පොල්තෙලෙන් බැඳ ඇති පදම් ආහාරයට ගත් අතර ඔවුන්ට කොලෙස්‍ටරෝල්, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග කිසිවක් වැලඳුණු බවට වාර්තාවී නැත. ඔවුහු දීර්ඝායුෂ භුක්ති වින්දහ.

“පොල්තෙල්වලින් කොලෙස්ටරෝල් ඉහළ යන බව සොයා ගැනීමේ පරීක්ෂණයක් සිදු කළේ 1960 දශකයේදී. එම පරීක්ෂණයට අප්‍රිකානුවන්ට හයිඩ්‍රජනීයකරණය කළ පොල්තෙල් ග්‍රෑම් 100 ක් දීලා තිබුණා. ඊට පස්සේ ඒ අයගේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කළා ම එය ඉහළ ගිහින් තිබුණා. ඒත් ඒ පරීක්ෂණය විද්‍යාත්මකව වැරදියි. පොල්තෙල් හයිඩ්‍රජනීයකරණය කළාම අණු වෙනස් වෙනවා. හයිඩ්‍රජන්කරණය කළ පොල්තෙල්වලින් එවැනි පරීක්ෂණයක් කිරීම විද්‍යාත්මක නැහැ.

කිසිම ද්‍රව්‍යයක් කලවම් නොකළ පිරිසුදු පොල්තෙල් මිනිස් සිරුරට අහිතකර නැහැ. ඇත්තටම එය ගුණදායකයි. හැබැයි කලවම් නොකළ පිරිසුදු පොල්තෙල් විය යුතුයි” යනුවෙන් සඳහන් කළේ වැලිසර ළය රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම ය. බටහිර රටවල් විසින් එවැනි පරීක්ෂණයක් සිදු කළේ එළවළු තෙල් වැනි විවිධ පිසුම් තෙල් වර්ග වෙළෙඳපොළට හඳුන්වාදීමේ කූට උපක්‍රමයක් වශයෙන් යැයි ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

ආහාර පිසීම සඳහා සුදුසුම තෙල් වර්ගය පිරිසුදු පොල්තෙල් ය. මධ්‍යම දාම මේද අම්ලය හෙවත් ලෝරික් අම්ලය අඩංගු පොල්තෙල් පෝෂණ ගුණයෙන් අනූන ය.

මෙම මුළු මේද අම්ල ප්‍රමාණයෙන් 48%ක් වෙන් වන්නේ ලෝරික් අම්ලයට ය. මවුකිරිවල ගුණයට සමාන ගුණයක් ඇති ලෝරික් අම්ලය මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරයි. එබැවින් ශරීරයට ඉතා හිතකරය.

දිගු දාම මේද අම්ල මිනිස් සිරුරට අහිතකර වුවත් පොල්තෙල්වල අඩංගු මධ්‍යම දාම මේද අම්ල නිසා ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ අගයක් ගනී. (ප්‍රතිඔක්සිකාරක ගුණ යනු ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවන වස විස ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාවයි.) එමෙන් ම පොල්තෙල්වලින් ශරීරයට හිතකර HDL (High Density Lipoprotein) වැඩි කරනු ලබන අතර මෙම HDL ඉහළ යෑම මඟින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කෙරේ. එසේ ම ශරීරයට අහිතකර LDL (low Density Lipoprotein) අඩු කිරීමට පොල්තෙල් ඉවහල් වන බවට ද සොයාගෙන ඇත. මේ අනුව පොල්තෙල් මිනිස් සිරුරේ කොලෙස්ටරෝල් අඩු කරන අතර හෘදයාබාධ වළක්වන ඖෂධීය ගුණයෙන් යුතු බව පෙනී යයි.

සාමාන්‍යයෙන් දිනකට ආහාරයට ගත යුතු පොල්තෙල් ප්‍රමාණය ග්‍රෑම් 35 කි. අප තෙල් දමා, බැද ගනු ලබන ආහාරවලින් දිනකට පොල්තෙල් ග්‍රෑම් 35 ක ප්‍රමාණය ඉක්මවා යන්නේ කලාතුරකිනි. පොල්තෙල්වල කිසියම් අහිතකර තත්ත්වයක් තිබේ නම් ආහාර පිසීමේදී යොදා ගනු ලබන කුළු බඩු නිසා එය සමනය වන බව වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම සඳහන් කරයි. පොල්තෙල්වල තන්තු වැඩිය. මධ්‍යම දාම මේද අම්ල සහිතය. එබැවින් පොල්තෙල් මිනිස් සිරුරේ කොලෙස්ටරෝල් නැති කරන අතර ආහාර දිරවීම පහසු කරයි.

ආහාර මාර්ගයේ ඇති එන්සයිම සමඟ ආහාර හොඳින් මිශ්‍ර කිරීමට උපකාරී වේ. බැක්ටීරියා, දිලීර, වෛරස් නාශක ගුණ සහිතයි. දියවැඩියාව පාලනය කිරීමට හැකියාව ඇත. අග්න්‍යාශය සහ ආමාශය ආරක්ෂා කිරීමේ ගුණ තිබේ. පොල්තෙල්වල ඇති ලෝරික් අම්ලය පිළිකා නාශක ගුණ සහිතයි.

ගැස්ට්‍රයිටිස් අවම කිරීමටත් තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත කිරීමටත් කැල්සියම්, මැග්නීසියම් අවශෝෂණය වැඩි කිරීමටත් පොල්තෙල්වලින් සිදු වන මෙහෙවර සුළුපටු නැත. කැල්සියම් සහ මැග්නීසියම් අ‍වශෝෂණය වැඩි කිරීමෙන් ඔස්ටියොපො‍ෙරාසිස් හැදීම වළක්වනු ලැබේ.

මේ අනුව පොල්තෙල් මිනිස් සිරුරට ඉතා හිතකර බව මැනවින් පැහැදිලි වේ. එබැවින් අප පොල්තෙල්වලට කිසිසේත් බිය විය යුතු නැත. එහෙත් මේ සියලුම පෝෂණ පදාර්ථ අඩංගු වන්නේ කිසිවක් කලවම් නොකළ පිරිසුදු පොල්තෙල්වල පමණි. අද වෙළෙඳපොළේ බහුලව තිබෙන්නේ පාම් තෙල් මිශ්‍ර කළ පොල්තෙල් බැවින් එයින් මෙකී පෝෂණීය ගුණ ලබාගත නොහැකි ය. මෙම පෝෂණ ගුණ ලබා ගැනීමට නම් කලවම් නොකළ පිරිසුදු පොල්තෙල් භාවිත කළ යුතු ය.‍

අද බොහෝ ගෘහිණියන් පොල්තෙල් වෙනුවට එළවළු තෙල් වැනි පිසුම් තෙල් භාවිත කළ ද ඒවායෙන් බලාපොරොත්තු වන හිතකර ප්‍රතිඵල නොලැබේ.

පිසුම් තෙල් ක්‍රියාවලිය ඉතා සංකීර්ණය. අසංතෘප්ත මේදය අඩංගු එළවළු තෙල් සෙල්සියස් අංශක 100 වැනි උෂ්ණත්වයට රත් කළ විට ට්‍රාන්ස් මේදය (Trans fat) බවට පත්වේ. මෙම Trans fat හෘදයාබාධ, දියවැඩියාව සහ අක්මා ‍රෝග ඇති කරයි. එමෙන් ම පියයුරු පිළිකා, ආහාර මාර්ග පිළිකා ඇති වේ. එසේ ම මේවායේ ඔමේගා 6:3 අනුපාතය 25:1 දක්වා වැඩි වේ.

මෙම ට්‍රාන්ස් මේදය නිසා හෘද ‍රෝග වැලඳීමේ අවදානම 21% - 28% දක්වා ඉහළ යන බව බටහිර පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ. එළවළු තෙල් නිස්සාරණයේදී ඇති වන හෙක්සේන් මිනිස් සිරුරට හිතකර නැත. තෙල් අතරින් භාවිතයට සුදුසුම තෙල් වර්ගය වන්නේ තලතෙල්ය. තලතෙල්වල පිළිකා නාශක ගුණ, කොලෙස්ටරෝල් නැති කිරීමේ ගුණවලින් සමන්විත වන අතර කැල්සියම් අයන බහුලය. එබැවින් තලතෙල් ඉහළ ඖෂධීය වටිනාකමක් ඇති තෙලක් ලෙස හැඳින්විය හැකිය.

පිරිසුදු පොල්තෙල් ආහාර කීපවරක් බදින විට නරක් වේ. බැදීමෙන් පසු නරක් නොවන තෙල් පාවිච්චියට සුදුසු නැත. ඕනෑම තෙලක් නිතර නිතර පාවිච්චි කිරීමෙන් විෂ සංඝටක හට ගනී. පාවිච්චි කළ තෙල් නැවත නැවත භාවිත නොකරන ලෙස අවවාද කරන්නේ එම නිසා ය.

පොල්තෙල් ගැන කතා කිරීමේදී අපට පොල්වලින් මිරිකා ගනු ලබන උකු කිරි (මිටිකිරි) අමතක කළ නොහැකි ය. මෙහිදී පොල් ‍‍බ්ලෙන්ඩර් නොකර ගලේ අඹරා ගැනීම හෝ වංගෙඩියේ කොටා ගත යුතු ය. මන්ද එහිදී පොල්වල තන්තු ප්‍රමාණය රැකෙන බැවිනි. පොල්වල තන්තු නිරෝගී දිවියකට ඉතාම හිතකරය. එබැවින් මිටිකිරි ඉවත දමා දියකිරෙන් පමණක් ආහාර පිස ගත යුතු නැත. මිටිකිරිවල යම් අගුණයක් තිබේ නම් කෑම පිසීමේදී යොදා ගැනෙන කුළුබඩු වර්ගවලින් ඒවා සමනය වනු ඇත.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »