Home / ජීවීතය සුන්දරද / සෑම දෙයක්ම ‘පුළුවන්’ යැයි සිතීමෙන් නිසැකවම එය සඵල වේවි

සෑම දෙයක්ම ‘පුළුවන්’ යැයි සිතීමෙන් නිසැකවම එය සඵල වේවි

2018-12-14 10:40:00       284
feature-top
‘පුළුවන්’ මේ වචනය කෙතරම් සරලද සැහැල්ලුද?’ නමුත් ඒ අයුරින්ම මෙම වචනය බලවත් බව  ඔබ දන්නවාද? මෙතරම් සැහැල්ලු වචනයක ඇති ප්‍රබල  බව ශ්‍රී ලාංකික අප කී දෙනෙක් නම් නිවැරදිව අවබෝධ කරගෙන ඇත්ද? අද ඒ ගැන කතා කරමු.
පුළුවන්  කියා සිතීම මෙන්ම මට පුළුවන් යැයි නිතර පැවැසීම ඉතා සුබදායී වන අතර ඒ වචනවල ඇති  බලගතුකමම ඔබට සියලු දේ පහසු වීමට මෙන්ම  ඒ සඳහා හැකියාව ඇති කිරීමටද හේතුවෙයි.
පුළුවන් යැයි සිතන / කියන දෙය සමහර විට  ඔබ මීට පෙර සිදු නොකළ දෙයක් විය හැකි අතර එය  ස්ථිරවම කළ හැකි දැයි ඔබට සැකයක් තිබිය හැකිය. නමුත් ඔබට තිබූ සැකය පරදා, එම  කාර්ය කිරීමට ඔබට ශක්තිය දීම ‘පුළුවන්’ යන වචනයටත් එහි ඇති අසාමාන්‍ය ප්‍රබලතාවයටත් සිදු කළ හැකි බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. එසේම ‘බැහැ’ යැයි කීම හා සිතීම මගින් හැකිදේත් ඔබට නොහැකි වන බව ඉතා වගකීමෙන් යුතුව ඔබට පවසමි.
බැහැයි කීම මනුෂ්‍යත්වයට ගැළපෙන පිළිතුරක් නොවේ. මනසින් උසස් වූ මිනිසාට ‘ නොහැක්කක් නොමැති’ විය යුතුය. මතෛක් ලොව කළ නව සොයා ගැනීම්, නව නිපැයුම් සිදු කළේ ඒ නොහැක්කක් නොමැති යැයි සිතූ පිරිස විසිනි.

නිතර ‘බැහැ’ යැයි පවසන පුද්ගලයා තමන් විසින්ම තමන්ට හැකියාව ඇති දේ පවා නොහැකි බවට පත් කර ගනී. මෙය මන්තරයක් ලෙස සෑම විටම පැවැසීම මගින් ඔබට ඉතා ඉක්මනින් ජීවිතයේ පරාජයත්, පසු බැසීම් හා  පීඩනයන්ට මුහුණ  පෑමට බොහෝ දුරට ඉඩ ඇත.  පුළුවන් යැයි පවසන්නාට නොහැකි දේත් හැකි වන අතර ‘බැහැ’ යයි පවසන්නාට හැකි දේත් නොහැකි වේ.
මතෛක්  කල් ඔබ ජීවිතයේ ‘බැහැ’ යයි පවසමින් සිටියේ නම් ඔබ ඒ පුරුද්ද නැති කර ගන්න. අද සිට මෙම මොහොත සිටම ‘මට පුළුවන්’ යැයි පැවැසීමට හැකිනම් ශබ්ද නගා  පැවැසීමට ඔබට හැකි නම් වෙනස ඔබටම අත්විඳින්නට හැකි වනු ඇත.
එහිදී ඔබ තුළ ඇති වන අලුත් ප්‍රාණය බලන්න.  හිතට හා ගතට දැනෙන ආත්ම විශ්වාසය හා සුවය දකින්න. මෙය ඔබ තුළ ඇතිවන අලුත් ප්‍රාණයකි. ඔබ විඳින්නේ  සහ එහිදී ඔබේ සිතට දැනෙන ආත්ම විශ්වාසයේ සුවයයි. ‘පුළුවන්’ යැයි සිතන පුද්ගලයාට ජීවිතය ‘පුළුවන්’ ලෙස සැහැල්ලු වීමට පටන් ගන්නා අතර බැහැ යැයි නිතර පවසන විට ඔබට ජීවිතයේ එම බරම ඉතා වැඩිපුර දැනෙනු ඇත.

ඉතින් මේ ඉතා පැහැදිලි ඉතා සරල දේ තේරුම් ගැනීම  මගින් ඔබ ඔබේ ජීවිතය පහසු කර ගනිමින් ජීවිතය විඳීමට සූදානම් වන්න. අද සිට ඔබේ සිතේ ‘බැහැ’ යයි පවසන වචනය ඉවත දමා ‘පුළුවන්’ යන  මන්තරය සිතට ඇතුළු කර ගන්න.
 සමහර අවස්ථාවල ඔබේ හැකියාව 10 විය හැකිය. නමුත් ‘පුළුවන්’ යන පුදුම වචනය මගින් ඉතිරි 90 ඔබ නොසිතන ආකාරයට ඔබ ඉදිරියේ තබන අයුරු කල් නොයවාම ඔබට අත් විඳින්නට හැකිවේ. එය ඔබම අත් විඳ බලන්න.
තවත් අත්හදා බැලීමක් කිරීමට  ඔබට පවසමි. මතෛක් කල් නොහැකි ලෙස අත්හැර දැමූ යමක් සිහියට ගන්න. ‘මට මෙය කළ හැකියි. මම කෙසේ හෝ  මෙය කරමි. මට මෙය කිරීමට හැකිවේ’ ලෙසින් දිනකට 50-100 වතාවක් කියන්න. ඔබව කිසිවකුට නොඇසේ නම් ඔබටම  ඇසෙන ලෙස මෙය හඬ නගා පවසන්න. ඔබ පවසන වාර ගණන වැඩි වන තරමට ඔබ දිය යුතු ශක්ති ප්‍රමාණය අඩු වී යයි. එනම් ඔබ නොසිතන අයුරින්  එම කාරණය කිරීමට ඔබට හැකි වනු ඇත. මෙම ක්‍රියාවලියේදී ඔබේ මොළය විසින් ඔබට  එම කාරණය කිරීමට නොහැකි ලෙස කාරණා ඉදිරිපත් කිරීමට  සැරසේවි. එයට කිසිසේත් ඉඩ නොතබන්න.

ඉතාමත් පැහැදිලි ලෙසම ඔබට එය කළ හැකි බව පමණක්ම ඔබේ මොළයට හා සිතට ඒත්තු ගන්වන්න.
මොළයට / සිතට ඔබ හැසිරවීමට ඉඩ නොතබන්න. ඔබ විසින් ඔබේ සිත  හසුරවන කෙනෙක් වන්න. මෙය ඉතා කැපවීමෙන් කළ  යුතු දෙයකි. ඉතා වීර්යක් අවශ්‍ය  කරුණක් වුවද මෙය ඉතා සාර්ථකව කළ හැකිය.
 මේ පිළිබඳව තවත් විස්තර ලබන සතියේ කතා කරමු



(under the courtesy of hirutv.lk blog web)

More News »