Home / ජීවීතය සුන්දරද / කාලය සමග වෙනස් වුන මුළුතැන්ගෙය

කාලය සමග වෙනස් වුන මුළුතැන්ගෙය

2019-01-04 11:44:00       182
feature-top
කාලය සමග ලෝකයේ ජීවන රටාව වෙනස් වුණා. ඒ නිසාම අපිට විතරක් එක තැන රැඳී සිටීම අපහසුයි. මේ වෙනස අපිටත් නොදැනීම මුළුතැන්ගෙටත් ඇවිත්…

අතීතයේ නිවසක මුළුතැන්ගෙට ලැබුනේ බොහොම ගරු ගාම්භීර තැනක්. මුලුතැන්ගෙය පිරිසිදුව නොතිබුනොත් රාත්‍රියට නිවසට එන සිරියාකාන්තාව කෙළ ගසන බවටත් සමාජගත පිලිගැනීමක් තිබුණා. ඒ නිසාම මුලුතැන්ගෙය බොහොම  පිරිසිදුව තබා ගන්න කාන්තාවන්ගේ උනන්දුව ගොඩ නැගී තිබුණා.

ඒත් අද දවසේ මොනවා හෝ දෙයකින් රාත්‍රි ආහාරය සප්පායම් වුනත් පවුලේ උදවිය වරින් වර ආහාර ගන්නා නිසා මුළුතැන්ගෙයි ඉඳුල් ඉවත් කිරීම පහසු නැහැ. දරුවන් රාත්‍රියට පාඩම් කරන නිසා කලින්ම නින්දට යනවා. ඒ නිසා ආහාරපාන සියල්ලම ඔවුන් වෙනුවෙන් තබා අම්මා නින්දට ගියත් සමහර විට එලිය වැටුනත් දරුවන් අවදි වෙලා නැහැ. පසුවදාට ආහාර පිළුණු වෙලා. එහෙම නැත්නම් කෑවාට පසුව ඒවා පිරිසිදු නොකර දරුවන් නැවත ඔවුන්ගේ කටයුතුවල යෙදෙනවා. ඒ නිසා අපතේ යෑම වගේම අපිරිසිදුකම මුලුතැන්ගෙයි පුරාවටම රජවෙලා.
ඉඩ පරිසරය

මුළුතැන්ගෙයි ඉඩ පරිසරය දැන් සීමිතයි. කාර්යක්ෂමතාවය වෙනුවෙන් පුංචි පවුලට වගේම පුංචි මුළුතැන්ගෙටත් වටිනාකමක් තිබෙනවා. ඉඩකඩ තිබෙනන මුළුතැන්ගෙයි මිරිස් අඹරන ගල, පිටි කොටන්න වංගෙඩිය, දර ලිප පිහිටා තිබුණා. මේ නිසා වැඩ පහසු කරන මෙවලම් එදා භාවිතා වුනේ නැහැ. ඒත් අද පිටි වංගෙඩියේ කොටා ගන්නේ නැහැ. ඒ වෙනුවෙන් බ්ලෙන්ඩරය තිබෙනවා. නමුත් වංගෙඩියේ කොටා ගන්න පිටි තෙතමනයෙන් වගේම අස්වැන්නෙන් ඉහලයි. හාල් කිලෝවක් රැයක් වතුරේ දමා පොඟවා ගෙන කොටා ගත් විට අස්වැන්න වැඩියි. ඒ වගේම මේවායේ තෙතමනය නිසා ආස්මී, කොකිස් වැනි කැවිලි වර්ග පිළියෙල කලාම ගුණාත්මකබවත් ඉහලින්ම තිබුණා.
ව්‍යායාම

අද කාන්තාවන්ගේ බොහෝ රෝග තත්වයන්ට හේතුව ව්‍යායාම මදි කමයි. නිදහසට කරුණු විදිහට මේ අය කියන්නේ “අපි තුන් වේල උයන්න කුස්සියේ එහාට මෙහාට යන එක ඇති බවයි…” ඒත් අද සිරුරට ව්‍යායාම ලැබෙන මිරිස් අඹරන්න, පිටි කොටන්න වැනි කටයුතු නැති නිසා කාන්තාවන් නිදහස්. ඒත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය වෙනුවෙනුත් මේ වැඩ පහසු කරන මෙවලම් චුදිතයා බවට පත්ව තිබෙනවා.

මිරිස් තුනපහ නිවසේම පිළියෙල කර ගත්තා. ඒ නිසා වස විස ගැන චෝදනා නැහැ. දර ලිප නිසා දැලි සහ දුම ගැන චෝදනා තිබුනත් බහුකාර්යක් ඉටු කිරීමට මේ ලිප බොහොම හපන්. ලිපට ඉහලින් තිබුන දුම්මැස්ස නිසා ගොරක, කරවල වැනි දේ පුස් නොකන විදිහට වියලිව තබා ගත්තා. ලිප අයිනේ තිබුන කේතලය නිතරම උනුවතුර උණු කර ගැනීමට පහසුවක් වුණා.

උණු අළු පල්ලේ හෙවත් ගින්දර යටින් පුලුස්සා ගත් සුදුළෑණු බඩේ අමාරුවලදී හොද අත්බේතක්. ඒ වගේම කරවල, වම්බටු වැනි දේ මේ විදිහට උඋණු අලුපල්ලේ තම්බා ගෙන රසවත් සම්බෝල හදා ගත්තා. දෙහි, කෝමාරිකා වැනි දේ මේ විදිහිට පුලුස්සාගෙන අත්බේත් තනා ගැනීමට අතීතවය්දී කාන්තාවන් හොදින් දැන සිටියා. අද තිබෙන විදුලි සහ ගෑස් උදුනකින් මේ කාර්යය එදා විදිහට කර ගැනීම අපහසුයි. ඒ ප්‍රමිතිය ලබා දෙන්න අද තිබෙන මෙවලම් වලට හැකියාවක් නැහැ.
රසයටත්

දර ලිපෙන් පිසින ආහාරයක රසය ගෑස් ලිපකින් පිසින ආහාරයකින් ලබා ගන්න බැහැ. ඊට හේතුව දර ලිප අවශ්‍ය විදිහට වෙනස් කර ගන්න පුලුවනි. පොළොස් ඇඹුලක් පිසින විට මුලින්ම සැර ගින්දර යොදල ඊට පසුව ඒ ගින්දර නිවලා ගිනි රස්නය මත තියනවා. එවිට පොලොස් කැබැලි මෘදු වෙමින් රසය ඇතුලට හොදින් ඇතුලු වෙනවා. ඒත් ගෑස් ලිපකින් දැල්ල අඩු වුනාට මේ මද රසනය ලැබෙන්නේ නැහැ. වතුර හිදී ගියත් නිවී සැනසිල්ලේ තැම්බීමක් නොවන නිසා දර ලිපේ පොළොස්  ඇඹුලක තිබෙන ප්‍රමිතිය අද දකින්න නැහැ.

උදේට තිබෙන කලබලය නිසා දැන් පොල් වුනත් ගාලා රාත්‍රියට ශිතකරණයේ තියල උදේට ප්‍රයෝජනයට ගන්නවා. මේ නිසා උකු පොල්කිරි ලැබෙනවා පමණක් නොව ඒවායින් පිසින ආහාර නිසා අහිතරක කොලස්ටරෝල් ගබඩා වෙනවා. එදා බොහෝ ආහාර පිළියෙල වුනේ පොල් අඹරාගෙනයි. මේ ඇඹරුමට සූදුරු, සුදුළූණු එකතු කරන නිසා මේද ගැනත් පැමිණිලි ලැබුනේ නැහැ. අතින් මිරිකා ගත් නිසා පොල්වලින් උපරිම කිරි ලැබුනේ නැහැ.

අද මුළු තැන්ගෙයක තිබෙන්නේ ප්ලාස්ටික්, ඇලුමිනියම් උපකරණයි. මේවා පරිහරණයෙන් පසුව ඉවත් කිරීමේ ගැටලු වගේම ආහාර පිලියෙල කිරීමේදී ඇඹුල් ආදිය යොදා ගැනීමේ අහිතකර තත්වයනුත් තිබෙනවා. එදා හැඳි ආනේ පටන්ම වට්ටි, පෙට්ටි, පොල්කටු හැදි වැනි උපකරණ සියල්ලම පොල්කොල වැනි කාබනික අමුද්‍රව්‍ය යොදා ගෙන සකස් වුන නිසා පාරිසරික ගැටළු ඇති වුනේ නැහැ.

අද වගේ නල ජලය මුළු තැන්ගෙට තිබුනේ නැහැ. ලිඳකින් ගෙනැත් නිවසට පුරවා ගත් ජලයෙන් කටයුතු කලා විතරක් නොවෙයි, එයින් උපරිම ප්‍රයෝජන ගත්තා. වතුර විසි කරන තැන කොහිල, කංකු හෝ නීරමුල්ලිය වැනි කොටුවක් සිටුවා ගත්තා. හාල්මැස්සන් කරවල සේදූ ජලය කරපිංචා, කෙසෙල් පැල වලට දැම්මා. හාල්මැස්සන් ඔලු සම්බෝලයට යොදා ගත් අතර තවත් වි‍ටක කෙසෙල් ගස් මුල වලලා ගත්තා. ඒවා හොඳ පොහොරක්.

(under the courtesy of womanly.lk blog web)

More News »