Home / ජීවීතය සුන්දරද / හොඳ දකින දරුවෙක් හදමු

හොඳ දකින දරුවෙක් හදමු

2019-02-01 10:40:00       615
feature-top
ඔබේ දරුවා හොඳ දරුවෙක් ද? ”‍මේ මොනවා අහනවද? මේ ලෝකේ ඉන්න හොඳම දරුවා මගේ පුතා.”‍ ඔබේ හිත මේ වෙද්දීත් මගේ ප‍්‍රශ්නෙට උත්තර බැඳලා ඉවර ඇති.ඇත්ත අපි හැමෝටම මේ ලෝකේ ඉන්න හොඳම දරුවා අපේ දරුවා. එත් මතක් කරලා බලන්න අන්තිමටම ඒ පුංචි ඇස් දෙක දිහා බලාගෙන ”‍මේ ලෝකේ ඉන්න ලස්සනම බබා මගේ දෝණි....”‍, ”‍මගේ පුතා හරිම දක්ෂ දරුවෙක් ... මම හරිම වාසනාවන්තයි පුතේ”‍..., ”‍මේ ලෝකේ ඉන්න හොඳම බබා ඉන්නේ අම්මටයි... ඉතින් අම්මට හරිම සතුටුයි”‍... කියල අන්තිමටම කිවේ කවද්ද ? මතක් කරගන්න අමාරුයි නේද ?  ඔබට මුණ ගැහිලා ඇති සමහර අම්මල ඉන්නවා... දරුවා දක්ෂයි එත් ඒ දරුවා ඉස්සරහදී ඒ ගැන කියන්නේ නෑ. උනන්දු නැති වේවි කියල... දරුවා ඉස්සරහදි  ‘‘‍මගේ කටේ බලෙන් ඇදගෙන යනවා අනේ”‍ කියලා කියනවා... දරුවා එහෙ මෙහෙ උනාම ... ”‍වැඩ ටික හොඳට කරනවා”‍කියල කියනවා. ඒ අම්මා හිතා මතා නැති කරගත්තේ ඒ දරුවාගේ ආත්මාභිමානය නංවාගන්න... තමන්ට සතපහක් වැය නොවී දෙන්න තිබ්බ වටිනා තෑග්ගක් කියලා ඒ අම්ම දන්නේ නැතුව ඇති.

ඔබට කතා කරන්න කෙනෙක් ලොකුවට මුණ ගැහෙන්නේ නැත්නම් කෝල් එකක් ආවම ඒ කෝල් එකේදී දරුවෝ ගැන කතා උනාම හොඳ කියන්න... අත්තම්ම සීය එක්ක දරුවෝ කළ හොඳ වැඩ ගැන කියන්න... මාම, නැන්දා, ලොකු අම්ම කෝල් කළාම... මුණ ගැහුණම... දරුවෝ ළඟ තියාගෙන එයාලගේ හොඳ කියන්න. ලොකුවට ඉගෙන ගෙන, තැලිලා පොඩි උන අපේ හිතුත් හොඳක් අහන්න ආසනම් පොඩි හිත කොයි තරම් නම් ආස ඇතිද හොඳ අහන්න කියල හිතන්න...

දරුවෝ එක්ක හොඳ කතා කරන්න පටන් ගන්න... එයාගේ පන්තියේ වෙන දරුවෙක් ගැන... ගුරුතුමී ගැන... මේ  ඕනෙම දෙයක් ගැන... වෑන් එක එනකල් ඉන්නකොට... ඉස්කෝලෙට බස්සන්න යනගමන්.. ගෙදර එනගමන්... කගේ හරි මොනවා හරි දෙයක හොඳ දැකල ඒක කතා කරන්න.... ස්කුල් වැන් එකට ඉන්න කල් දකින්න තියෙන මොනාහරි දෙයක හොඳක් දකින්න. ‘‘පුතේ අර බබා හරි ලස්සනයි නේද”‍කියල දොණිත් එක්ක කතා කරන්න...

උදේට වාහනේ යනකල් අපි මොකද කරන්නේ... සමහර විට දරුවෝ උදේට කනවා ඇති... අම්ම දන්නවද? දරුවෝ ඒ කන කෑම එකේ විටමින් වලට වඩා දේවල් ඔබේ කතා බහෙන් පුංචි පැටව් මොළේට දාගන්නවා කියල... කලර් ලයිට් එකේ දී යන්තමට තිබ්බ ඉඩට තමන්ගේ වාහනේ ඔබා ගත්තු ත‍්‍රිරෝද රථ රියැදුරුට පුතාලගේ තාත්තා දත් මිටි කාගෙන ”‍ශුද්ධ සිංහල වචනයක්”‍ කීවම ඔබේ පුතා හිතනවා ඔබේ රථයට වඩා පොඩි වාහන වල යන අයට කතා කරන්න  ඕනේ එහෙමයිි කියල... අම්ම කන්තෝරුවේ තමන්ට හිතවත් නැති නෝනා කෙනෙකුගේ වැරදී කියා කියා යන ටික ඔක්කොම දෝණිගේ ඔළු‍වේ තැටි ගත වෙනවා... ගෙදරින් නැග්ග තැන ඉඳල බහිනකල් පුදුමාකාර හිතේ ආතතියකින් වාහනේ එළවන ඔබ මුදා හරින ආතතිය වායුසමීකරණ යන්ත‍්‍රයේ සිසිල් සුළං රැල්ල එක්ක මුසු වෙලා ඔබේ රත්තරන් පැටව්න්ගේ හුස්ම ටිකත් එක්ක එයාලගේ පොඩි හදවත් තුළ නිදන් ගත කරවනවා.. පාරට වාහනේ දැම්මට පස්සේ මේ ලෝකයේ කිසිම හොඳක් ඔබට දකින්න නොලැබෙනවා නම් සද්ද නැතුව ඉවසා දරාගෙන වාහනේ එළවන්න... නැත්නම් දැනට වඩා විනාඩි 15 කින් උදේ අවදි වෙලා කලින් එළියට බහින්න... වාහනේ යන අතරේ දකින මොනම හරි දෙයක් ”‍ලස්සනයි කියල ”‍හරි ”‍හරි ෂෝක් කියල”‍ හරි කතා වෙන්න...

හවස තාත්ත ගෙදර එනකල් බලන් ඉන්නකොට ”‍තාත්ත මෙච්චර ? වෙන්නේ තව පොඞ්ඩක් වැඩි පුර සල්ලි හොයන්නයිනේ පුතේ අපේ තාත්ත අපි නිසා ගොඩක් මහන්සි වෙනවනේ.. අපේ තාත්ත පව් නේද”‍ කියල කතා කරන්න...

ටි‍්‍රප් එකක් එක්කන් ගිහින් ගෙදර ආවම ”Thank you” අප්පච්චි අපිව එක්කන් ගිහින් පරිස්සමින් එක්කන් ආවට”‍ කියල ඔබ කියන්න... දවස් කිහිපයක් යද්දී ඔබේ දරුවෝ නිකන්ම පුරුදු වේවි.

දරුවෝ ඇති දැඩි කරද්දී අපි බය වෙන්න  ඕනි දරුවෝ අපි කියන දේ නොකරන එක ගැන නෙවෙයි. ... අපි ගොඩාක් බය වෙන්න  ඕනේ  දරුවෝ ”‍අපි කරන”‍ දෙය කරන එකයි... ඔබේ දරුවා මොන ලොකු කොලීජියට යන්නත් කලින් හැමදේම ඉගෙන ගත්තේ ඔබෙන්.. .. ගෙදරින් පටන් ගමු... ඔබට පුළුවන්   හොඳ දකින දරුවෙක් හදන්න පටන් ගන්න. වැඩිය  ඕනි නෑ දවසකට මොනා හරි දේවල් තුන හතරක හොඳ දරුවෝ එක්ක කතා කරන්න... ‘‘ආ එන්න අපි හොඳ දේ කතා කරමු”‍ කියල නෙවි... නිකන් යන එනගමන්- ගෙදර අනිත් වැඩ කරන ගමන්... බස් එකට කෝච්චියට ඉන්න ගමන්... දොස්තර ගාවට ගිය වෙලාවේදී... ඔය  ඕනෙම වේලාවකදී...

වෙන අයගේ හොඳ ගැන කතා කරන අතරේම අනික් දරුවෝ ඉස්සරහ.. තාත්ත ඉස්සරහ.. අත්තම්ම, සීය ඉස්සරහ... ලොකු අම්ම, මාම ඉස්සරහ දරුවාගේ හොඳත් කතා කරන්න...  ඔබේ දරුවා මේ ලෝකේ හොඳ දකින ලෝකෙට ආදරේ කරන ආදරණීය මනුස්සයෙක් වේවි.... ජීවිතේ  ඕන හැලහැප්පීමකදී එය දරාගන්න පුළුවන් පරිණත දෘෂ්ටියකින් ලෝකේ දකින මනුස්සයෙක් වේවි...  පුංචි කාලේ ඉඳන්ම ”‍මම හොඳ කෙනෙක් - මම දක්ෂ කෙනෙක් - මම ගුණ යහපත් කෙනෙක්”‍ කියල එයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන- විශ්වාස කරන ඔබේ මුවෙන් පිට වෙන වදන් ඔබේ දරුවා අපූරු ශක්තියක් ඇති අහිමනාවත් මනුස්සයෙක් කරාවී...  මේ කර්කශ කුරිරු ලෝකෙට  ඕනේ කවදාවත් වැටෙන්නේ නැති අය නෙවි, වැටුණාම හිටියට වඩා හොඳින් නැගිටින්න පුළුවන් පුද්ගල චරිත ... ඒ නිසා ඔබ හෙමින් සීරුවේ එයාගේ  හිතට කාන්දු කරන ශක්තිය ඔබේ දරුවා වැටුණු වෙලාවක උන්නට වඩා ඉහළට නගා සිටුවාවී...  මේ ලෝකයේ එයා එක්ක ජීවත් වෙන ,ගනුදෙනු කරන අයගේ හොඳ දකින්න පුරුදු උනාම, එයාට ලෝකය සුවදායක තැනක් වේවි...  ජීවිතේ හැමදාම ගෙදර ආවම එයාගේ කඳුළු- ප‍්‍රශ්න බෙදා ගන්න. ඔබ මේ ලෝකේ නොහිටින නිසා එයා ලෝකෙත් එක්ක පහසුවෙන් ගනුදෙනු කරන කෙනෙක් කරල මියැදෙන්න ඔබට පුළු‍වන්නම් එය ඔබේ හිතට පුදුමාකාර සහනයක් ගෙන දේවී ...

(under the courtesy of hirutv.lk blog web)

More News »