Home / ජීවීතය සුන්දරද / සමගි පවුල ඉස්තරම්

සමගි පවුල ඉස්තරම්

2019-02-02 10:33:00       616
feature-top
අතීතයේ අපේ බෞද්ධ සමාජය තුළ තිබුණු වටිනාකම්, අධ්‍යාත්මික ගුණධර්ම, සංස්කෘතික ලක්ෂණ දෙස බලද්දී වර්තමානයේ එහි විශාල පිරිහීමක් දකින්නට ලැබෙනවා.

නමුත් අපි ඒවා කතා කළා කියලා ඒ තිබුණ දේ ඒ ආකාරයෙන්ම මේ යුගයට ඇතුළත් කරන්නට බැරිවෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ආධ්‍යාත්මික ගුණ ධර්ම රැකෙන ආකාරයට එය කළයුත්තේ කෙසේද කියා තේරුම් ගත යුතුයි.

අතීතයේ තිබුණේ එකට ජීවත් වන පවුල් ක්‍රමයක්. මැද මිදුලක් තිබෙන වටේට සහෝදර සහෝදරියන් සිටින ක්‍රමයක්. එනිසා මවුපියන් දුර ගමනක් ගියත් දරුවෝ තනි වුණේ නැහැ. ආච්චි, සීයා, නැන්ද, මාමා,පුංචි, බාප්පා දරුවා අසළ හිටියා.

එදා තිබුණ ඒ උතුම් ගුණධර්ම පුරුදු කර නො ගැනීම නිසා අද බොහෝ මිනිසුන් ආත්මාර්ථකාමි යි. බොහෝ ආධ්‍යාත්මික ගුණ ධර්ම පිරිහී ගොස් තිබෙනවා. එදා අතීතයේ තිබුණ පවුල් පරිසරය අපට නැවත හදන්න බැරිවෙන්න පුළුවන්. එක ගමක ගෙවල් හ දාගෙන ඉන්නවා කියන සංස්කෘතිය අපට සමීප කර ගන්න බැරිවෙන්න පුළුවන්. එදා පවුල් සංස්කෘතිය තුළ නිවෙස් එක ළඟම තිබුණ නිසාම දරුවෝ රැකුණා නොවේ. නිවෙස් ළඟ තිබූ නිසාම මිනිසුන් සමගියෙන් සිටියාත් නොවේ. ඔවුන් ගුණධර්ම අතින් පොහොසත් නිසයි එසේ ජීවත්වුණේ.

කාන්තාවගේ අරපිරිමැස්ම

එදා අපේ සමාජයේ සිටි අම්මා බත් ටිකක් ඉතුරු වුණාම ඒක අහක දාන්නේ නැහැ. ඒක නැවත සෝදා වේලාගෙන කබලේ දමා බැඳ කොටා හැන්දෑවට අග්ගලා හදනවා. ඒ අසල්වාසී නිවෙස්වල පිරිසටත් එක්කයි. එය පිරිමි පාර්ශවයට වෙන් කර තබා ඊළඟට තමන්ගේ දරුවන්ට දී පසුවයි කාන්තාවෝ අනුභව කළේ්. එසේ තිබුණු සම්ප්‍රදාය අද අපට ගන්න නො හැකි වුවත් එතැන තිබුණ ගුණ ධර්ම අපේ ජීවිතයට ගළපා ගන්න පුළුවන්.

ඒ තමයි තමන්ගේ සැමිියා දහඩිය මහන්සියෙන් ඉපයූ දෙයින්, කරන ගොවිතැනින් ලබා ගත් අස්වැන්නෙන් කිසිවක් ඇය වීසි කළේ නැහැ. ඉතිරි වූ බත්ටික පවා අහක නො දමන ගුණයක් එදා සිටි කාන්තාව තුළ තිබුණා. සැකසුරුවමක් තිබුණා. ස්වාමි භක්තිය තිබුණා. ස්වාමියාටත් පවුලේ වැඩිමහල් පුරුෂ පක්ෂයටත් මුල කොටස වෙන් කරනවා. ඊළඟට ආච්චි සීයා හිටියානම් මුලින්ම ඔවුන්ට දෙන්නේ වැඩිහිටි ගෞරවය නිසයි. ඊළඟට දරුවන්ට දුන්නා. ඉන්පසුවයි අම්මාල අනුභව කළේ. මෙතැන කරුණා මෛත්‍රිය, ස්වාමි භක්තිය, ගරුකළ උතුමන්ට ගරු කිරීම, දරු සෙනෙහස ආදී ගුණදහම් රැකුණා. අදටත් ඒ ගුණධර්ම පුරුදු කරන්න පුළුවන්. පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි දරුවෝ තුන් දෙනා නම්, නිවසේ වැඩවලට ඒ දරුවන් උදව් කර ගන්න පුළුවන්. මේ ලිපිය කියවන ඔබ අම්මා, තාත්තා කෙනෙක් නම්, උපක්‍රමශීලිව ඒක කරන්න හිතට ගන්න ඕන.

නිවාඩු දවසක දරුවන් සමග එකතු වෙලා කෑමක් හදනවා. දරුවෝ ලවාම “පුතේ බුද්ධ පූජාව වෙන් කරන්න” කියා එහි අග්‍ර කොටස බුද්ධ පුජාවට වෙන් කරනවා. ඉන්පසුව නිවසේ හෝ නිවස අසළ ආච්චි, සීයා ඉන්නවානම් ඒ අයට වෙන් කරනවා. සවසට නිවසට එන තාත්තාට වෙන් කරනවා. ඉන්පසුවයි දරුවන්ට දී අම්මා කන්නේ.

අපි පුංචි කාලේ අපේ අත්තම්මා හවසට විශේෂ කෑමක් හැදුවොත් අපිට කියනවා “පුතේ එහා ගෙදර අත්තම්මට මේක දීලා එන්න” කියලා. ඒක ගිහින් දුන්නාට පස්සේ ඒ නිවසේ අත්තම්මත් ඇය උයපු දෙයක් නැවත අපට දෙනවා “මේක ගිහින් අත්තම්මට දෙන්න” කියලා. එතැන දී දන්නේ ම නැති සමගියක් ගොඩ නැඟෙනවා. අද කාලයේ සමහර නිවෙස්වල දරුවන් පුංචි දෙයක්වත් තව දරුවෙකුට දෙන්න හුරු වෙලා නැහැ. අම්මලා හුරු කරලත් නැහැ. තමන්ගේ දරුවා තව දරුවන් පිරිසක් සමග සෙල්ලම් කරමින් සිටිනවානම්, තමන්ගේ දරුවා නිවසට කැඳවා “ මේක කාලා යන්න” කියලා කෑමක් ඒ දරුවාට විතරක් දෙනවා. අද මවුපියන් කො තරම් මසුරුයිද කියන්නේ තමන්ගේ දරුවයි අසල දරුවෙකුයි එකට සෙල්ලම් කරනවා. අනෙක් දරුවා කතාවට අල්ලාගෙන තමන්ගේ දරුවාට කියනවා “ ගෙට ගිහින් කිරි වීදුරුව බීලා එන්න” කියලා. එවිට ඒ දරුවාගේ මනස තුළ එයින් මසුරුකම රෝපණය වෙනවා.

 

කොහොඹ බීජයේ උපමාව

ඒක හරියට කොහොඹ බීජයක් හිටෙවූවා වගේ. කොහොඹ බීජයක් හැදුවට පස්සේ ඒ ගසෙහි දල්ල, නටුව, පොත්ත, මල, අරටුව ආදී හැම එකක්ම තිත්තයි. ඒ වගේ දරුවාට පුංචි කාලේ සිට අකුසල් රෝපණය කළොත් අනාගතයේ් කපටි, මසුරු, දරුණු මිනිසෙක් බවට ඔහු පත්වීමට ඉඩ තිබෙනවා.

ඒ වගේම අද සමහර තරුණ අම්මලා ඉන්නවා මොනවා හරි උයා ගන්නවා. ඒක කාලා නිදා ගන්නවා. තමන්ගේ සැමියා වැඩ අවසන් කොට රාත්‍රියේ වෙන්න පුළුවන් නිවසට එන්නේ. ඔහු ගැන තැකීමක් කරන්නේ නැහැ. ඒක දකින දරුවාත් එයම පුරුදු වෙනවා. නමුත් තරුණ මවක් කෑම උයලා දරුවන්ට පේන්න කෑම එක සැමියාට බෙදා අරන් තියන්න ඕන. දරුවා පුංචි කාලේ සිට පාඩමක් ලෙස අම්මා කියලා දෙන්න ඕන තාත්තා තමයි මේ ගෙදර ගරු කළයුතු කෙනා. තාත්තාට කෑම බෙදා තියලයි අපි කන්න ඕන කියලා. ඒ වගේම නිවසේ සිට බාල දරුවන්ට කවා පොවා තමයි වැඩිමල් දරුවන්ට කෑම දෙන්න ඕන. ඒවාගේ දේවල් දරුවන්ට පුරුදු කරනවා නම්, ඒවා අනාගතයට ආයෝජනය කරන වත්කම්. දරුවන්ගේ හිත්වල තැන්පත් වන ගුණ ධර්ම. බැංකුවල තැන්පත් කරන ධනයට වඩා එය වටිනවා.

 

සමගි පවුල ඉස්තරම්

එදා සමාජයේ පවුලක් තුළ පුංචි නංගි මල්ලි බලා ගත්තේ වැඩිමල් අය්යා අක්කා. නමුත් දැන් ඒ හැම දෙයක්ම කරන්නේ අම්මා හෝ තාත්තා යි. එසේ බොරු බයක් ඇතිකර ගන්නේ නැතිව දරුවන්ට බාල සහෝදරයන්ගේ වගකීම් පැවරිය යුතුයි. අමතර පන්තියට ගිහින් නංගි හෝ මල්ලි නිවසට කැඳවාගෙන එන්න, පාසලේ වැඩ කරවීමට, ආදී දේ පුරුදු කරන්න ඕන. ඒක වැඩිමහල් සහෝදරයාගේ යුතුකමක් බව ඔවුන්ට කියා දෙන්න ඕන. එය ප්‍රායෝගිකව අද කාලයට ගැළපෙන පරිදි හිතලා තමයි කරන්න ඕන. අපි හිතමු විවේකි වෙලාවක දී දරුවන් සෙල්ලම් කරනවානම්, අය්යාට කියන්න ඕන මල්ලිත් සමග ඒ සෙල්ලම කරන්න කියලා. එතකොට අය්යයි මල්ලි අතර සහයෝගයක් ගොඩ නැඟෙනවා. එකට සෙල්ලම් කරද්දී මල්ලිට අසාධාරණයක් වුණොත් අයියා ඉදිරිපත් වෙලා බේරා ගන්නවා. ඒ තුළ සහෝදරත්වය ශක්තිමත් වෙනවා. දරුවෝ එකට ඇසුරු කරන ආකාරය නිතරම ප්‍රයෝගිකව ඔවුන් දිරිමත් කරන්න ඕන. ඒ වගේම පාසල් උපකරණයක්, ලැබෙන තෑග්ගක් බෙදාහදා ගන්නට ඔවුන් පොලඹවන්න ඕන. සල්ලි තිබුණාට අය්යට එකයි නංගිට එකයි අරන් දෙන්න හොඳ නැහැ. අය්යට ගේන එකෙන් ම කොටසක් මල්ලිට දෙන ආකාරයට හුරු කරන්න ඕන. එක එක දරුවා ආසා කරන කෑම වෙන වෙන ම ගේන්නේ නැතිව එක දෙයක් ගෙනත් දීලා කියන්න “පුතේ මේක බෙදාගෙන කන්න” කියලා. එයින් දරුවන් තුළ ගොඩ නැඟෙන්නේ සමගිය යි.

ගෝලයාගේ වත් කිරීම්

බුද්ධ දේශනාවේ තිබෙනවා ගෝලයයි, ගුරුවරයි ඉන්නවා. ගෝලයා විසින් ගුරුවරයාට වත් කළ යුතුයි. උදේ සිට රාත්‍රියට සැතපෙන තෙක් ගෝලයා ගුරුවරයාට කළයුතු වත් බොහෝමයක් තිබෙනවා. ඇල් පැන්, උණු පැන් හදා දෙන්න ඕන. සිවුරු පිරිසුදු කර දෙන්න ඕන. දානය වළඳන ස්ථාන පිරිසුදු කරන්න ඕන. ඒවා කළයුතු වත්. නමුත් ගෝලයා අසනීප වුණොත් ගුරුවරයා විසින් ඉහත කී සියලු වත් කළයුතු වෙනවා.

එලෙසම අඹු සැමියන් අතරත් එසේම යි. ස්වාමියාගේ ඇඳුම් පැළඳුම් සෝදා දීම, ගේ දොර පිරිසුදු කිරීම, ආහාර පිසීම ආදී කටයුතු කාන්තාවකගේ වගකීම් ලෙස පැවරී තිබෙනවා. නමුත් ඇයට අසනීපයක් වූ විට සැමියා විසින් බිරිය වෙනුවෙන් ඒ සියල්ල කළයුතු වෙනවා. ඒ පවුල තුළයි සමගිය ගොඩ නැගෙන්නේ.

එනිසා ශ්‍රී සද්ධර්මය ශ්‍රද්ධාවෙන් අධ්‍යනය කරමින් ඒවා ඒ ආකාරයෙන් ම පිළිගෙන අතීතයේ පවුලක් තුළ තිබූ සමගිය, සහයෝගය, එකිනෙකාට උදව් කිරීම් ආදී වර්තමානයේ පවුලක් තුළ සජීවිකර ගන්න පුළුවන් අවකාශය උදා කර ගත යුතුයි. එවිට ගුණ ධර්මවලින් දියුණු බෞද්ධ පවුලකට දියුණුවෙන් දියුණුයට යා හැකි වේවි.

More News »