Home / ජීවීතය සුන්දරද / රෝග සමනය කරන්නටත් රුව වැඩි කරන්නටත් උපකාරී වන වජ්‍රාසනය

රෝග සමනය කරන්නටත් රුව වැඩි කරන්නටත් උපකාරී වන වජ්‍රාසනය

2019-04-02 01:06:00       620
feature-top
යෝගාසන සම්බන්ධයෙන් සමහර පුද්ගලයන් සිතන්නේ එය සැමට කළ නොහැකි දුෂ්කර අභ්‍යාස පෙළක් ලෙසිනි. ඒ නිසාම නිරෝගි සුවය සමග තවත් බොහෝ ප්‍රතිලාභ ළඟා කරගත හැකි යෝග අභ්‍යාස වෙත නැඹුරුවන්නට ඔවුහු නොසිතති.
 
සමර යෝග අභ්‍යාස සැමට එකම ආකාරයට කළ නොහැකි බව ඇත්තය. එහෙත් මැදිවිය ඉක්මවුවද යම් යම් රෝගී තත්ත්වයන්ගෙන් පෙළුණද පහසුවෙන් නියැලිය හැකි යෝගාසන කොතෙකුත් තිබේ. වජ්‍රාසනයද එබඳු පහසුවෙන් නියැලිය හැකි එහෙත් විපුලඵල ළඟාකර දෙන ආසනයකි. වජ්‍ර යනු දියමන්තියයි. වජ්‍රාසනයද එබඳු අනගි යෝගාසනයකි.
 
වජ්‍රාසනයට පිවිසෙන ආකාරය
 

වජ්‍රාසනයට පිවිසෙන විටදි පාද හා යටිපතුල් පිහිටන ආකාරය පිළිබඳව වඩා සැලකිලිමත් වන්න. යෝග ඇතිරිල්‍ලේ වාඩිවී එක් පාදයකට පසුව අනෙක් පාදය පසුපසට නමා ඔබේ දෙදණ මත සිරුර පිහිටුවා ගන්න. එහිදී ඔබගේ යටි පතුල් ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ඉහළට යොමුවී පැවැතිය යුතුය.
 
* පා ඇඟිලි සහිත ප්‍රදේශය ‍පොළොවට තදින් ස්පර්ශව පැවැතිය යුතුය. දැන් අඩ කවයක් ආකාරයට පිහිටි යටි පතුල් මත වාඩිවෙන්න. ඔබේ සිරුරේ සම්පූර්ණ බර පාද හා යටි පතුල් මත රැඳී පැවැතිය යුතු අතර ගුද මාර්ගය යටි පතුල් දෙක අතර හරි මැදට ස්ථානගතව පැවැතිය යුතුය.
 
* කොඳු ඇට පෙළ, ගෙළ, හිස සහ දෑත් ජුව තබා ගන්න.
 
* ඡායාරූපයේ පෙනෙන ආකාරයට දෙදණ මත දෑත් තබා දෙනෙත් පියා ගන්න. මනස එක්තැන් කර ගනිමින් ප්‍රාශ්වාසයත් සමග 'ඕම්' හඬ විශ්වයට මුදා හරින්න. එසේ නැතිනම් ආශ්වාස ප්‍රාශ්වාසය කෙරෙහි ඒකාත්මික වන්න.
මේ ආකාරයට මනස එක්තැන් කර ගනිමින් දවසකට විනාඩි දහයක්වත් වජ්‍රාරාසන ගතව සිටින්නට ඔබට හැකිනම් අත්පත් කර ගත හැකි ප්‍රතිලාභ මොනවාදැයි දැන් අපි සොයා බලමු.
 
බර ආහාර වේලකට පසුව වජ්‍රාසනයේ රැඳී සිටින්නට හැකිනම් ශාරීරික අපහසුතා සියල්ල දුරු කරමින් ආහාරය පහසුවෙන් ජීර්ණය කරවයි. කොතරම් බර ආහාරයක් වුවද ඉක්මනින් හා පහසුවෙන් එය ජීර්ණය කරවන බව යෝගී මතයයි. වජ්‍රාසනයේ දිනපතා නියැලිය හැකිනම් උරහිස්, දෙපතුල්, කලවා ඇතුළ සම්පූර්ණ පාදයේම වේදනා සමනය කරවන අතර තවත් බොහෝ ප්‍රතිලාභ පහත දැක්වේ.
 
ශරීරයේ නාඩි හැත්තෑ දෙදහසක් (72000) ස්ථාන ගතවී ඇති මිනිස් සිරුරේ අතිශය වැදගත් ස්ථානයක් වන කන්දස්ථානය පිහිටා ඇත්තේ ගුදයේ සිට සෙ.මී. තිහක් පමණ ඉහළට වන්නටයි. දිනපතා වජ්‍රාරාසන ගතවන අයගේ මෙම කන්දස්ථානය බලසම්පන්න වන බව හඳුනාගෙන තිබේ.
 
ශරීරයේ නොයෙකුත් ග්‍රන්ථින්ගෙන් නිකුත් වන ශ්‍රාවයන්ගේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරවන්නටද මෙම යෝගාසනය ඉවහල් වේ. සුදු රුධිරානු වර්ධනය කරවන අතර මානසික ආතතිය පහකර මනස සුවපත් කරයි. විශේෂයෙන් කාන්තාවන්ගේ රූප ශෝභාව වඩා වර්ධනය කරන්නටද ඉවහල් වන ආසනයකි.
 
භූනමාන වජ්‍රාසනය

 
වජ්‍රාසනය තවත් ඉදිරියට යමින් භූනමාන වජ්‍රාසනයට ඔබට පිවිසිය හැකි නම් වජ්‍රාසනයෙන් ලැබෙන ප්‍රතිලාභ වලට අමතරව තවත් බොහෝ යහපත් ප්‍රතිඵල ඔබට අත්විඳිය හැකිය.
 
වජ්‍රාසනයේ රැඳී සිටින ඔබ එම ආසනයේම හිඳිමින් දෑත් දිගුකර හිස ‍පොළොවට යොමුකර භූමියට නමස්කාර කරන ඉරියව්වට පිවිසීම භූනමාන වජ්‍රාසනයයි.
 
භූනමාන වජ්‍රාසනයට පිවිසීම
 
වජ්‍රාසනයේ රැඳී සිටි ඔබ දෑත් ඉහළට ඔසවා පෙණහලු පිරෙන්නට ගැඹුරු හුස්මක් ගෙන එය රඳවා ගන්න. දැන් එම හුස්ම පිටකරන ගමන් ඔබගේ අත් දෙකත් හිසත් ක්‍රමයෙන් පහළටම යොමු කරමින් දෑත් සහ හිස ‍පොළොව මත තබන්න. (දහවරක් පමණ ආසනයේ රැඳෙන්න)
 
ආධුනිකයෙකුට එක්වරම හිස ‍පොළොවට ස්පර්ශ කළ නොහැකි විය හැකිය. එවිට ඔබට හැකි පමණට හිස පහත් කරන්න. එහෙත් ආධුනික වුවත් තරුණ තරුණියන්ට මෙය එතරම් අපහසු ඉරියව්වක් නොවේ.
 
භූනමාන වජ්‍රාසනය මගින් බඩවැල්වල රෝගී තත්ත්වයත් සහ දුර්වලතා මගහරවා අක්මාව සුවපත් කරවයි. අග්න්‍යාසයේ ක්‍රියාකාරිත්වය වඩා වර්ධනය කරවයි. කොඳු ඇට පෙළ ශක්තිසම්පන්න කරවන අතර මනසද නිරෝගි කරයි. උදරයේ සහ පපුවේ මාංශපේෂි ශක්තිමත් කරයි. මළබද්ධය නින්ද නොයෑම, ඇදුම, දියවැඩියාව, කෑම අරුචිය, අර්ශ් ඇතුළු ගුද මාර්ගයේ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයට ඉතා යහපත් ආසනයකි.
 
හිස පහළට හෙළීම නිසා මොළයට රුධිරය සැපයීම ක්‍රමවත් කරවන බැවින් මුහුණේ හා දෑස්වල කාන්තියට ඉවහල් වන ආසනයකි.
 
ආසන නුසුදුසු අවස්ථා
 
* දණහිස්වල ශල්‍යකර්ම සිදුකර ඇති අය සහ දණහිස් දැඩි ආබාධයන්ට ලක් වූ අය
* ගර්භණී මව්වරු හිස පහළට හෙළීමේ ඉරියව්වට පැමිණීම නුසුදුසු වුවත් වජ්‍රාසනය ඔවුන්ට ඉතා යහපත්ය.
* අධි රුධිර පීඩනයෙන් සහ හදවත් රෝගවලින් පෙළෙන අය හුස්ම රඳවාගෙන සිටීම නොකළ යුතුය.
 

More News »