Home / ජීවීතය සුන්දරද / සිරුර වෙව්ලා තදින් උණ ආවොත් මැලේරියාව දැයි පරීක්ෂා කර බලන්න

සිරුර වෙව්ලා තදින් උණ ආවොත් මැලේරියාව දැයි පරීක්ෂා කර බලන්න

2019-06-15 10:28:00       787
feature-top
නිරිතදිග මෝසම් වැස්ස දැන් පටන් අරන්. දිගින් දිගටම වැහි වැටෙන කොට ආයෙමත් තැනින් තැන වතුර එක්රැස් වෙනවා. කලක් යටපත්ව තිබූ වසංගත රෝග හෙමින් හෙමින් හිස ඔසවනවා.

කලක් තිස්සේම එහෙම යටපත්ව තිබුණු වසංගත රෝගයක් මැලේරියාව. වර්තමානය වනවිට ශී‍්‍ර ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් සහතික කරනු ලැබ තිබෙනවා. ඒත් තවමත් අපේ රටෙන් වරින්වර මැලේරියා රෝගීන් වාර්තා වෙනවා. මැලේරියාව තුරන් කරලා තිබෙනවා නම් රෝගීන් හමුවෙන්නේ කොහොමද? ඔබට එහෙම හිතේවි. එහෙත් එලෙස හමුවන සෑම රෝගියකුටම මැලේරියාව බෝවෙලා තිබෙන්නේ විදෙස් රටවලදීයි. නැත්නම් අපේ රටේ පුද්ගලයන් වන්දනාවක , ව්‍යාපාරික කටයුතුවලට හෝ සංචාරය සඳහා මැලේරියාව තිබෙන රටවලට ගිහින් ආවාට පසුවයි. මැලේරියාව බහුලව පවතින ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, මැඩගස්කරය, කෙන්යාව, නයිජීරියාව, උතුරු අප්‍රිකාව වැනි රටවල සංචාරය කරන ඇතැම් ලාංකිකයන්ට මෙන්ම ඒ රටවලින් රැකියා සඳහා ව්‍යාපාරික කටයුතු හෝ සංචාරය සඳහා අපේ රටට පැමිණෙන විදේශිකයන්ට මැලේරියා උණ වැලඳුණු අවස්ථා වාර්තා වෙනවා. මැලේරියාව බෝකරන ඇනෝෆිලිස් මදුරුවන් තවමත් ලංකාවේ සිටිනවා. ඔවුන්ට බෝ වීමට සුදුසු උණුසුම් දේශගුණයක් සහිත පරිසරයක් රටේ තිබෙනවා.

ඒත් රෝගය බෝ කිරීමට අවශ්‍ය පරපෝෂිතයා ලංකාවේ නෑ. පිටරටින් පැමිණෙන මැලේරියා රෝගීන් මඟින් මෙන්ම මැලේරියාව ඇති රටවල සංචාරය කර පැමිණෙන දේශීය රෝගීන් මඟිනුත් රෝගය බෝ කරන පරපෝෂිතයා ආයෙමත් අපේ රටට ඇතුළුවීමේ අවදානමක් ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මෙලෙස විදේශිකයන් හා සංක්‍රමණිකයන් වෙතින් හමුවන මැලේරියා රෝගීන් හඳුන්වනු ලබන්නේ ආනයනික මැලේරියා රෝගීන් යනුවෙන්.

අපේ රට තුළදීම මැලේරියාව වැලඳුණු රෝගියකු අවසන් වතාවට වාර්තා වුණේ 2012 දී. 2012 දී ලංකාවෙන් මැලේරියා රෝගීන් 93ක් වාර්තා වී තිබෙනවා. ඔවුන් අතරින් 70 දෙනෙක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අයයි. පසුව ගතවූ තෙවසර තුළම දේශීය මැලේරියා රෝගීන් වාර්තා නොවූ හෙයින් “ශ්‍රී ලංකාව දේශීය වශයෙන් මැලේරියාව තුරන් කළ රටක්” ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් සහතික කරනු ලැබුවා.

දේශීය මැලේරියාව රටෙන් තුරන් කරන්නට රජයට හා මැලේරියා මර්දන ව්‍යාපාරයට විශාල මෙහෙවරක් ඉටු කරන්නට සිදුවුණා.

මේ දවස්වල හැමෝගෙම අවධානය යොමුවෙන්නේ ඩෙංගු වැනි වෙනත් උණ රෝග වෙතයි.

උපදෙස්
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ
සභාපතිනී විශේෂඥ වෛද්‍ය
මහාචාර්ය අනුලා විජේසුන්දර

More News »