Home / ජීවීතය සුන්දරද / සරතැස නිවනා කොත්තමල්ලි

සරතැස නිවනා කොත්තමල්ලි

2020-04-20 06:43:00       1054
feature-top
අධික උණුසුමෙන් ගත සිත දැවෙන මේ කාලයේ දිය පොදක අගය රන් බිඳුවකටත් වැඩිය. සෑම මොහොතකම දිය බිඳෙන් බිඳ පානය කිරීමට තරම් පිපාසය උග්‍ර කාලයක ජලයට ඇති හොඳම විකල්පයක් වන්නේ කොත්තමල්ලි වතුරය.

පරම්පරා ගණනක්ම එය අපේ ජාතික පානය වී තිබුණ ද බටහිර ආක්‍රªමණයත් සමඟ කොත්තමල්ලි පානයට තිබූ තැන පැණි බීම වැනි අහිතකර පානවලට හිමිවන්නට ගත්තේය. එහෙත් යළි පැණි බීම විසිකර කොත්තමල්ලි කෝප්පයක් පානය කිරීමට කාලය එළඹ තිබේ. දැන් බටහිර පර්යේෂකයන් පවා අපේ කොත්තමල්ලි පානයේ අගය වටහා ගෙන ඇත. කොත්තමල්ලි පානයේ වගේම කොත්තමල්ලි කොළවල ද ඇත්තේ අසීමිත ගුණයකි.

කොත්තමල්ලිවල තන්තු, මැංගනීස්, යකඩ, මැග්නීසියම් යහමින් අඩංගුය. කොත්තමල්ලි කොළ විටමින් සී, විටමින් කේ, ප්‍රෝටීන්වලින් සාර අතර කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, තයමින්, නියැසින් සහ කැරොටින් අඩංගු වෙයි. කොත්තමල්ලි ඇට තම්බා පානය කළත් කොත්තමල්ලි කොළ සලාද ආහාරයට ගත්තත් ලබා ගත හැකි ප්‍ර‍්‍රතිලාබ ගණනාවකි. කොත්තමල්ලි ශාකය අපේ හිසේ සිට පාදන්තය දක්වා සුවය සදන දිව ඔසුවකි.

විශේෂයෙන්ම මෙය කාන්තාවන් වෙනුවෙන්ම සොබාදමෙන් නිර්මාණය වූ පානයක් බඳුය. යකඩ හිඟකමෙන් ඇතිවන රක්තහීනතාව හෙවත් ඇනීමියා තත්ත්වයට බොහෝවිට හේතුවන්නේ යකඩ හිඟකමය. ඊට යකඩ අධික ලෙස අඩංගු කොත්මල්ලි ඇට සාරයත් කොත්ත්මල්ලි කොළත් කදිම පිළියමකි.

මාස් ශුද්ධියට සතියකට දෙකකට පෙර ඔසප් වේදනාවෙන් සහනයක් ලබා ගැනීම සඳහා කොත්තමල්ලි තම්බා පානය කරන්න යන උපදෙස වැඩිහිටි කාන්තාවන්ගෙන් නව යෞවනියන්ට පරපුරේ උරුමයක් ලෙස ලැබුණකි. ආයුර්වේදයට අනුව ඔසප් රුධිරය හොඳින් ගලා යාමට කොත්තමල්ලි පානය උපකාරී වන නිසා වේදනාවෙන් සහනයක් ලද හැකිය.

අප ජීවත් වන්නේ මතක ශක්තිය අඩු වීම වියපත් වන්නට පෙරදීම වැඩි දෙනෙක් අත්දකින යුගයකය. නිතර කොත්තමල්ලි රස බලන්නේ නම් මේ ගැටලුව අවම කරගත හැකිය. ශාකයේ විටමින් කේ අඩංගු නිසා ඇල්ෂයිමර් රෝගීන්ට ගුණදායකය. කාංසාවක් සිතට දැනුණු විටක කොත්තමල්ලි කෝප්පයක් රස විඳින්න. කාංසාව දුරු වෙයි.

මේ ශාකයේ ප්‍රතිඔක්සිකාරක විශේෂයෙන්ම අපේ දෙනෙත්වල සුවය රැකීමට උපකාරී වෙයි. ඇස් ලෙඩට ප්‍රතිකාරයක් ලෙසින් ද කොත්තමල්ලි ආයුර්වේදයේ යොදාගනියි.

මුවේ තුවාලවලින් ඉක්මන් සුවය ලැබීමට කොත්තමල්ලි පානය කරන්න. මේ අත්දුටු ප්‍රතිකර්මයකි. විටමින් ඒ යහමින් අඩංගු නිසා විශේෂයෙන්ම පෙණහලු, පුරස්ථ ග්‍රන්ථි සහ පියයුරු පිළිකා වළකන ගුණයක් මෙහි ඇත. මෙහි ප්‍රතිප්‍රදාහ ගුණය නිසා ආතරයිටිස් වැනි රෝග වළක්වයි. දියවැඩියාවට හිතකර ආයුර්වේදීය ඔසු ගැන කතා වෙන කාලයක පහසුවෙන් ලබාගත හැකි කොත්තමල්ලි නම් අමතක නොකළ යුතුය. රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාවක් මීට පවතියි. අජීර්ණයක් පවතින විට තැම්බුං හොද්දක රස බැලීම වගේම කොත්තමල්ලි පානය ද වැදගත්ය. අන්ත්‍රවල ක්‍රියාකාරිත්වය වැඩි කිරීමේ ගුණයක් මෙහි පවතියි. එපමණක් නොව අක්මාවේ සුවතාව ද සුරකියි. හදවත් රෝගවලින් සහ ආඝාතයෙන් වැළකීමට කොත්තමල්ලි උපකාර වන්නේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිකර අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන බැවිනි.

More News »