Home / ජීවීතය සුන්දරද / ශක්තිමත් පුද්ගලයකු වීමට ඔබ සිතුවොත් එය ඉටු කරදෙන්න ඔබේ මොළයට පුළුවන්

ශක්තිමත් පුද්ගලයකු වීමට ඔබ සිතුවොත් එය ඉටු කරදෙන්න ඔබේ මොළයට පුළුවන්

2020-04-25 09:48:00       804
feature-top
ඔබට ජීවිතය අලුත් කරගැනීමට අවශ්‍ය නම් එය එතරම් අපහසු කටයුත්තක් නොවේ. එය පහසු යැයි ඔබ විශ්වාස නොකළත් සැබැවින්ම එය පහසු බව ඔබට වටහා දීම මේ ලිපියේ අරමුණයි. අපි නිරන්තරයෙන් භෞතිකව අලුත් වන්නෙමු. වෙනස් වීමට බොහෝ කාලයක් ගත වන්නේ අපේ අස්ථි පද්ධතිය පමණි. එහෙත් එහි තිබෙන සෑම සෛලයක් පවා අවුරුදු දහයකට වරක් අලුත් වෙයි. මේ නිරන්තර වෙනස හෝ අලුත් වීම අපේ ශරීරයට නම් අලුත් දෙයක් නොවේ. එ නිසා මේ අලුත් අවුරුද්දේ ඔබ අලුත් වීමට, ආකර්ෂණීය වීමට, නිර්මාණශීලී හා ශක්තිමත් පුද්ගලයකු වීමට අදිටන් කරගන්නේ නම් ඔබේ ඒ සිතිවිල්ල ක්‍රියාත්මක කර ජීවිතය හැඩගැස්වීමට ඔබේ මොළයට පුළුවන්.

හිනා වෙන්න... සිනහව ඔබේ විනෝදාංශය කර ගන්න. සිනහව යනු දෙපැත්තට යන ක්‍රියාවක්. ඔබ සතුටින් නම් ඔබ සිනහා වේවි. නමුත් සතුට නැති වේලාවක දී වුණත් සිනාසෙන්න පුළුවන් හේතුවක් ඇති කරගෙන ඔබ සිනාසෙන්න හැකි නම් නැතිවූ සතුට ඔබ තුළ නිරායාසයෙන්ම ඇති වේවි. ඔබ සිතන දේ ඉටු කරගැනීමේ ශක්තිය ඔබ සතුයි.

ඔබ සාංකාවෙන්, යම් සිත්තැවුලකින් හෝ නිරන්තරයෙන් ඔබව වේදනාවට පත් කරන දේ ගැනම සිතීමට හුරු වු කෙනෙකු නම් ඒයින් ඔබ දිගුකාලීනව මානසික පීඩනයකට පවා පත් විය හැකිය. එම සිතිවිලි ඔබෙන් ඉවත් කර අලුත් කෙනකු කරන්න ශාරීරික අභ්‍යාසය ද ඔබට රුකුලක් වේවි. එවැනි ශාරීරික අභ්‍යාසවලට හුරු වීමෙන් ඔබ තුළ නීරෝගීකම මෙන්ම ආත්ම අභිමානය ද ඇති කරාවී. ඒ අභිමානවත් හැඟීම සමඟ ජීවිතේට මුහුණ දෙන විට තව තවත් බොහෝ දේ ළඟා කරගැනීමට ඔබට හැකියි. මේ අලුත් ජීවිතයට වැදගත් වන්නේ මානසික සුවය ලබා දෙන ක්‍රමයක්. එ නිසා පුංචි ඇරැඹුමකින් පවා ඔබේ ජීවිතේ නැවුම් වේවි.

අලුත් ජීවිතයකට කෘතඥතා පූර්ව හැඟීම, ලැබී තිබෙන දේයින් සතුටු වීම බොහෝ වැදගත් වේවි. සමාජ ජීවිතයේ දී නිරතුරු අනෙකාට දිය යුතු ප්‍රශංසාව හා ගරුත්වය ඉතාම වැදගත්. කෙනකුගේ හොඳ කතා කරමින් ඔහු හෝ ඇයට සුළු තෑග්ගක් දෙමින් ප්‍රශංසා කිරීමේදී අනෙකා තුළ ඇති වන සතුට ඔබ තුළ තෘප්තිකර හැඟීමක් ඇති කරාවී.

මේ අලුත් අවුරුදු සමයේ ලැබී තිබෙන විවේකයේ දී ඔබේ කෑම රටාව වෙනස් කරමින් කෑමවල තිබෙන ප්‍රධාන රස වර්ග තිත්ත රස, පැණි රස, ලුණු රස, කහට රස, ඇඹුල් රස සහ මිරිස් රස යන මේ රස වර්ග එක් කර කෑම වේලේ විවිධත්වය අත්විඳින්න ඔබට පුළුවන්. වර්තමානයේ බොහෝ දෙනා ආහාර ගැනීමට හුරු වී සිටින්නේ නොයෙක් වැඩවලට අවධානය යොමු කරමින්. නමුත් අප ගන්නා ආහාරයේ පෝෂ්‍ය කොටස් ශරීරයට උරාගත හැකි ලෙස එන්සයිම උත්තේජනය වීමට නම් පෙර කියූ ඒ රස ඔබට දැනිය යුතුයි. එම නිසා තමන්ගේ ආහාරය රස විඳිමින්, ඒ රස වෙත අවධානය යොමු කරමින් යහපත් සතියෙන් ආහාර අනුභවයට හුරුවන්න. එහීදි කෑම වේලෙන් සියයට 40ක්වත් මුඛය තුළදීම ශරීරයට අවශෝෂණය කර ගැනීමට ඔබ ඔබටම පුංචි නීතියක් පනවා ගන්න. ඔබේ කෑම කටක් ඉක්මනින් ගිලිනවා වෙනුවට හොඳින් සපමින් ආහාරයට ගන්නේ නම් එම පෝෂ්‍ය කොටස් මුඛය තුළදීම ශරීරයට උරාගන්න හැකි වේවි.

නව ජීවිතයකට ප්‍රවේශයක් ලබාගැනීමට යහපත් මානසික වටපිටාවක් අවශ්‍ය වේ. අවධානය යොමු කර හුස්ම ගැනීම, හුස්ම ගැනීමේ හා පිට කිරීමේ අභ්‍යාසයේ මූලික විදි පිළිබඳ ඔබට කියා දෙන්නෙමූ. ඔබ භාවනාවකට සිත එක් තැන් කරගැනීමට අපහසු ආරම්භක අවධියේ පසු වන කෙනකු නම් ඔබේ දකුණු අතේ මැද ඇඟිලි තුනෙහි ඇඟිලි තුඩුවලින් වම් අතේ නාඩි වැටෙන තැන තබා ඒහි රිද්මයට සවන් දෙන්න. එවිට එය ඔබට ඇ‌සෙන්න, දැනෙන්න පටන් ගනීවි. මේ රිද්මයට අවධානය යොමු කරමින් මුලින් ගණනය අරඹන්න. කෙමෙන් ඔබේ අවධානය යොමු වන්නේ නාඩි වැටෙන රිද්මයට හා මේ ගණනයටයි.

එහි දෙවන පියවර, ඔබේ ඇඟිලි ඒ අයුරින්ම තබාගෙන නාඩි වාර හතරකදී හුස්ම ඉහළට ගෙන නාඩි වාර දෙකක් හුස්ම රඳවා තබා ඉන්පසු නාඩි වාර හතරකින් හුස්ම පිට කිරීමයි. මෙය හඳුන්වන්නේ හතර දෙක ක්‍රමය ලෙසයි. එම අභ්‍යාසයෙන් ඔබට අවශ්‍ය පරිදි හුස්ම ගැනීමේ හා පිට කිරීමේ සුවිශේෂි හැකියාව ප්‍රගුණ කළ හැකියි. මේ රිද්මයට හුරු වූ පසු හය තුන ක්‍රමයට ද අට හතර ක්‍රමයට ද අභ්‍යාසය කර අවසානයේ ජීවිතය අරමුණු ගත කර දිනාගත යුතු දේවල් දිනාගැනීමට ඉතාම හොඳ මානසික ඒකාග්‍රතාවක් ඔබට ඇති වේ.



More News »