Home / ජීවීතය සුන්දරද / පොතේ විභාග පාස්කළ පමණින් ජීවිතය දිනන්න බැහැ

පොතේ විභාග පාස්කළ පමණින් ජීවිතය දිනන්න බැහැ

2020-07-08 09:19:00       813
feature-top
අද ලෝකය පුදුමාකාර දියුණුයි. වැඩ පහසුකර ගන්න ඕනෑම කටයුත්තකට තාක්ෂණික මෙවලම් තියෙනවා. එක පැත්තකින් මේක හරිම පහසුයි. ඒත් වැඩිදුර හිතලා බැලුවොත් දියුණු තාක්ෂණයක් එක්ක මිනිසත්කම පිරිහිලා කියලාත් හිතෙනවා.

ඒ වගේම තමයි අද අපේ ගේ ඇතුළේ ආදරය කියන එක සැඟවිලා. හැබැයි ගේ ඇතුළේ නැති බඩුවක් නැහැ. මේක එක ගෙයකට දෙකකට පොදු දෙයක් නෙමේ. වර්තමාන තත්ත්වය මෙයයි. ඇත්තටම ගෙවල් ෂෝ රූම් වෙලා. ටීවී දෙක තුන, කුෂන් පුටු සෙට්, ලී පුටු, වේවැල් පුටු නැති වර්ගයක් නැහැ. හැම දෙයක්ම තියෙනවා. ඒත් ඔබට ගෙයි ඉන්න හිටින්න තැනක් නැහැ. ගේ තුළ හැරෙන්න බැහැ. හැම තැනම බඩු පිරිලා. මේක තමයි අලුත්ම ෆැෂන් එක. අද අම්මා තාත්තා හම්බකරන පඩි පැකට් එක ෆර්නිචර් ආයතනයකට බැඳලා එනවා.නැත්නම් බඩු නිවෙසට ගෙනත් දෙන ෆිනෑන්ස් ආයතනයකට දීලා එනවා.

ගෙයක් ලස්සනට තියෙන්න ඕනෙ. ගෙයක් පිරිසුදුව තියෙන්නටත් ඕනෙ. ඉස්සර අපේ ගෙවල්වල ගෑවේ ගොම මැටි. ගෙයි ඇතුළේ තිබුණේ ලණු ඇඳක්. පුටු දෙක තුනක් විතරයි. හැබැයි ඒ ගේ ඇතුළේ හරි අපූරු ගාම්භීර බවක් තිබුණා. අද වගේ ටයිල් පොළොවක දිස්නය දුන්නේ නැති වුණාට ඒ බිම ඇතුළේ හරි සුවඳක් වහනය වුණා. අද ගෙවල් ඇතුළට යන්න බැහැ. පුස් ගඳයි. අලුත්ම මෝස්තරවලට ජනෙල් දොරවල් දාලා. ඒවා අරින්නේ නැහැ. කොටින්ම කියනවා නම් වැලිකඩ බන්ධනාගාර තත්ත්වයට ගෙවල් පත්වෙලා.

"අනේ මේ අපේ ළමයි නැති නාස්ති කරල දාන හින්දා පුටු ටික වැහුවා.." හැම ගෙදරම වසා තියෙන සෝෆාව ගැන කියන්නේ ඔය කතාවමයි. බොහොම හොඳයි පරෙස්සම. අමාරුවෙන් හරි හම්බකරලා ගන්න දේ පරෙස්සම් කරන්න ඕනෙ තමයි. ඒත් ඒවා කරන පිළිවෙළක් තියෙනවා. ගෙයි ගොඩ ගහලා තියලා වැඩක් නැහැ. ප්‍රදර්ශන භාණ්ඩ ගෙදරකට ඔබින්නේ නැහැ. පාවිච්චියට බැරි, පාවිච්චි කරන්නේ නැති බඩු ගෙවල්වල ගෙනත් දාලා ගේ පුරවා ගන්න ඕනෙ නැහැ.

ඉස්සර අපේ අම්මා ලණු ඇඳට උඩින් පැදුරක් දැම්මා. අද වගේ බෙඩ් ෂීට් දාපු, කොට්ට මෙට්ට දාපු ඇඳන් එදා තිබුණෙ නැහැ.නමුත් එදා අම්මා ලණු ඇඳට දාපු පැදුරු හරි ලස්සනට වියපු පැදුරක්.හරි ලස්සන රටා වියලා තිබුණා. අද රුපියල් දහ පහළොස්දාහකට බෙඩ් ෂීට් ගෙනත් අතුරනවා. හැබැයි නිදියන්න ඉස්සරවෙලා ඒක නමලා පැත්තකින් තියනවා. පරණ රෙද්දක් අතුරලා නිදාගන්නවා. මොකද ගෙවල්වල ප්‍රදර්ශන භාණ්ඩ විතරයි තියෙන්නේ. ගෙදරට එන හැමෝටම පේන්න තියනවා. අපේ ගෙදර දාලා තියෙන්නේ මෙච්චර වටින බෙඩ් ෂීට්, කොට්ට මෙට්ට කියලා. ජීවිතේම ශෝභනයක්.මේ පම්පෝරිය සමාජයම රවට්ටනවා. ඒ ගෙදර යන එන මිනිස්සු තමන්ගෙ ගෙදරත් එවැනිම බඩු භාණ්ඩවලින් පුරවා ගන්න හදනවා. මේක විහිළුවක්, ඔබේ ගෙවල් දොරවල් පිරී යන්න ඕනෙ. අනවශ්‍ය බඩු භාණ්ඩවලින් නෙමේ. දරු සම්පත්වලින්.

මා ඒකට පුංචි නිදර්ශයක් කියන්නම්. මගේ පන්සල ළඟ ගෙයක් තිබුණා. මේ ගෙදර කුලියට හිටියේ මුස්ලිම් ජාතිකයන්.ඔක්කොම දොළොස් දෙනෙක් විතර හිටියා. පුදුම සමඟියෙන් හිටපු පවුලක්. පන්සලත් ඇසුරු කළා.කොටින්ම කියනවා නම් හයියෙන් ගුවන් විදුලි යන්ත්‍රයක්වත් දාන්නේ නැහැ. සමහර සිංහල බෞද්ධ පවුල් ජීවත්වනවාටත් වඩා හොඳ පරිසරයක් ඔවුන් වටා ගොඩනැගී තිබුණා. මේ අය ඔවුන්ගේ පහසුවට වෙන ගෙදරක පදිංචියකට ගියා. ඒ යන්න සූදානම් වන මොහොතේ මම පොඩ්ඩක් බලාගෙන හිටියා. ගෙදර බඩු ගෙනියන්න ආවෙ ලොරි භාගයක්. හරිම සුළු බඩු ප්‍රමාණයක් තමයි ඒ ලොරි භාගෙට පැටෙව්වේ. හැබැයි ගෙදර කට්ටියට යන්න ලොකු වෑන් එකක් ගෙනාවා. දොළොස් දෙනකුට පුංචි වෑන් එකක යන්න බැහැනේ. ඉතින් ඊට සතියකට විතර පස්සෙ සිංහල බෞද්ධ තරුණ නෝනා කෙනකුයි මහත්තයකුයි මේ ගෙදරම පදිංචියට ආවා. ඒ කට්ටිය ගෙදරට ඇවිත් වැඩි කාලයක් හිටියේ නැහැ. ගේ අත්හැරලා ගියා. එයාලා යද්දී ගෙදර තිබුණු බඩු වාහන තුනකින් ඇද්දා. හැබැයි ගෙදර හිටපු දෙන්නා ගියේ පයින්. ඔන්න බලන්න පවුල් දෙකක වෙනස. අපේ මිනිස්සු වැඩි ප්‍රමාණයක් එකතු කරගන්නේ ලට්ට ලොට්ට විතරයි. අවශ්‍ය දේවල් එකතුකර ගන්නෙ නැහැ. දරු සම්පත පිරිස් සම්පත්තියක් නැහැ. අද සිදුවන්නේ අපි එකතු කර ගත්තේ මොනවාද කියලා තේරුම් නොගැනීමයි.

ඔබව පාලනය කරන්නේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්.නැත්නම් අල්ලපු ගෙදර කට්ටිය. අපේ කෑම බීම, ගෙදරට අවශ්‍ය බඩු භාණ්ඩ ඇඳුම් පැළඳුම්. මේ ඔක්කොම තීරණය කරන්නේ ඔවුන්. ඉතින් කොහොමද සරල දිවිපැවැත්මක් ඇති කර ගන්නේ. වියදම අඩුකරගෙන ණය නොවී ජීවත්වෙන්නේ. නීරෝගි, බුද්ධිමත් දරු පරපුරක් බිහි කරන්න හිතන්නවත් බැහැ. ක්ෂණික ලෝකය තුළ වෙලා තියෙන වෙනස්කම් හරිම භයානකයි. මේ ටික තේරුම් ගත්තේ නැත්නම් අනාගතය හරිම ශෝචනීයයි. මෙවන් වටපිටාවක නිර්මල ආදරයක් ගොඩනැගෙන්නෙත් නැහැ. සිදුවන්නේ හැමදාම බඩු මුට්ටු පුරවා ගනිමින් ජීවත් වීම පමණයි.

අපේ අම්මලා සීමාවක් නැතිව මේ විදිහට බඩු භාණ්ඩ පුරවා ගන්නවා වගේම තවත් ලොකු වරදක් කරනවා. හුඟක් අම්මලා කියන්නේ පුතේ උඹ පොතේ පතේ වැඩ කරපන්. කුස්සියට එන්න එපා මම බත් ටික කවන්නම්. කිරි වීදුරුව කාමරයට එවන්නම්. පෑන අල්ලන හැටි උගන්වනවා. හැබැයි කොස්සක්, ඉදලක් අල්ලන්න දෙන්නෙ නැහැ. අත ළඟින් හැමදේම තියෙනවා. මේක ආදරය නෙමේ. බොහොම නරක දෙයක්. අද කාලෙ පිරිමි ළමයි හිතනවා ගේ දොර වැඩ ටික අම්මට, එහෙම නැත්නම් නංගිලටයි අක්කලටයි කියලා. ඒත් ඒක වැරැදියි. දුව, පුතා කියලා නැහැ. ගෙදරක කළ යුතු සියලු වැඩ කටයුතු දැන සිටිය යුතුයි. දැනගෙන විතරකුත් මදි, කරන්නත් ඕනෙ.ඒක මදිපුංචිකමක් නොවෙයි. ලොකු අභිමානයක්.

දවසක් දුර පළාතක පින්කමකට වැඩිය මම ඒ පළාතේ දන්න කියන මහත්තයෙක් මුණගැහෙන්න ගියා. ඒ වෙලාවෙ මහත්තයා ගෙදර හිටියෙ නැහැ. පිරිමි ළමයෙක් දොර ඇරියා.

පුතා, තාත්තා නැද්ද කියලා මම ඇහුවා. එතකොට ඒ පුතා කිව්වා අම්මයි තාත්තයි වැඩට ගිහිල්ලා. මම මේ උය උය හිටියෙ හාමුදුරුවනේ කියලා. මම ටිකක් පුදුම වුණා. මේ වයසේ දරුවෝ උයනවා පියනවා කිව්වහම. මොකද දැන් මේ වයසේ ගැහැනු දරුවොවත් උයන්නේ නැති නිසා. ඒ පුතා උසස් පෙළට ඉගෙන ගන්න දරුවෙක්. මම ඇහුවා ඇයි පුතා උයන්නේ කියලා.

More News »